Cinnamon Air කටුනායක ගුවන් තොටුපොළේ නවතම ගුවන් යානා අලුත්වැඩියා හැංගරයක් විවෘත කරයි

ජෝන් කීල්ස් සමූහයට අයත් මෙරට ප්‍රමුඛ පෙළේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන සිනමන් එයාර් පසුගියදා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී සිය නවතම ගුවන් යානා අලුත්වැඩියා හැගරයක් විවෘත කළ බව පවසයි.

ආසන්න වශයෙන් වර්ග අඩි 6,300ක විශාලත්වයක් සහිත මෙම නව හැගරය තුළ Cessna208 කාණ්ඩයේ ගුවන් යානා අලුත්වැඩියා සඳහා හැකියාව පවතී. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙහි අනුමැතිය යටතේ මෙම නව අලුත්වැඩියා කිරීමේ අවස්ථාව එම සමාගම හිමිව ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

අද වනවිට ලංකාවේ ප්‍රමුඛතම අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සමාගමක් වන සිනමන් එයාර් සමාගම දිනපතාම පාහේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කාලසටහනකට අනුව සිදු කරන ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරයි. එහිදී මෙරට වඩාත් සුන්දර ස්ථාන වෙත මෙම ගුවන් යානා ගමන් කිරීම සිදු කරයි. විශේෂයෙන්ම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ගමන් සංවිධානය වෙයි.

2013 වසරේදී සැෆ්රොන් ඒවියේෂන් (පෞද්) සමාගම යටතේ මෙහෙයුම් ආරම්භ කළ සිනමන් එයාර් සතුව අද වන විට Cessna 208 මාදිලියේ සැහැල්ලු ගුවන් යානා 3ක් පවතී. එහිදී එක් ගුවන් යානයක් රෝද සහිත වන අතර ගුවන් යානා දෙකක් දිය ගොඩ දෙකෙහිම ගොඩබැස්සවිම සහ ගුවන් ගත කිරීම සිදු කළ හැකි (amphibian aircraft) මාදිලියේ යානාවක් වෙයි. මේ හරහා රට පුරාම පිහිටි වඩාත් සුන්දර ස්ථාන වෙත දිය – ගොඩ භේදයකින් තොරව වඩාත් පහසුවෙන් ළගා වීමේ අවස්ථාවද සිනමන් එයාර් ගුවන් යානා වෙත හිමිව තිබේ.

මීට පෙරද සිනමන් එයාර් සතුව බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ගුවන් හමුදාවට අයත් කොටසේ අලුත්වැඩියා හැංගරයක් පැවතුණි. ඒ අනුව එය ගුවන් තොටුපොළෙහිම වෙනත් ස්ථානයක පිහිටුවීමක් මෙහිදී සිදුව ඇත. පසුගිය ජුනි මාසයේදී එම ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.

Cinnamon Air හිමි සැෆ්රොන් ඒවියේෂන් (පෞද්) සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම MMBL-පාත්ෆයින්ඩර් සමූහයේ සාමාජික MMBL ලෙෂර් හෝල්ඩිංග්ස් සහ Brandix සමූහයට අයත් Phoenix Ventures යන සමාගම්හි හවුල්කාරීත්වයෙන් (Joint Venture) පිහිටුවා ගත් සමාගමකි.

Visits: 189