ස්ටාර් ගාමන්ට්ස් සමූහය, LEED සහතික 6ක් සමඟ තිරසාර ව්‍යාපාර භාවිතය ශක්තිමත් කරයි

ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය (USGBC)මගින් පිරිනමන බලශක්ති හා පාරිසරික නිර්මාණ සැලසුම් අංශයේ නායකත්වය උදෙසා වන සහතිකය (LEED) දිනාගැනීමට පසුගියදා සමත්විය.

එහිදී ස්ටාර් ගාමන්ට්ස්හි බුත්තල කර්මාන්තශාලාවට LEED රන් සහතිකය ද, කඩුවෙල ස්ටාර් ෆැෂන් ක්ලෝදින් ආයතනයට සහ ස්ටාර් ගාමන්ට්ස් බද්දේගම කර්මාන්තශාලාවට LEED රිදී සහතික ද හිමිවිය. මේ සමඟ ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු සමස්ත LEED සහතිකලත් ආයතන සංඛ්‍යාව හයක් දක්වා වර්ධනය විය. එනම්, මේ වන විට සමූහය සතුව LEED ප්ලැටිනම්, LEED රන් හා LEED රිදී සහතික ලත් ආයතන දෙක බැගින් තිබේ. වර්ෂ 2024 වනවිට ස්ටාර් ගාමන්ට්ස් සමූහය සතු කර්මාන්තශාලා 14ටම LEED සහතික ලබාගැනීම ඉලක්කය වේ.

එමෙන්ම නවතම LEED සහතිකරණ (LEED 4.0 සංස්කරණය) යටතේ LEED ප්ලැටිනම්සහතිකය දිනාගත්,  ශ්‍රී ලංකාවේ ප්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල බවට කටුනායක Star Innovation Center ආයතනය පත්වූ අතර, සමස්ත අග්නි දිග ආසියානු කලාපයේම ‘Passive House Design’ සංකල්පය යටතේ ඉදිකළ කර්මාන්තශාලාව බවට ද එය පත්විය. එහි විශේෂත්වය වන්නේ, සාමාන්‍ය කර්මාන්තශාලා ගොඩනැගිල්ලකට සාපේක්ෂව සියයට 70කට වැඩි බලශක්ති කාර්යක්ෂමතාවක් ළඟා කරගැනීමට එය සමත්වීම යි. මෙම සුවිශේෂීත්වය නිසාවෙන්ම, 2020 AIA New York (AIANY) හිදී තිරසාරබව යන කාණ්ඩය යටතේ විශේෂ කුසලතා සම්මානයක් දිනාගැනීමට ද Star Innovation Center ආයතනයට හැකිවිය.

LEED සහතිකකරණය හිමිවන්නේ, බලශක්ති කාර්යක්ෂමතාව, පාරිසරික අනුකූල ගොඩනැගිලි නිර්මාණ, ඉහළ ජල පරිභෝජන කාර්යක්ෂමතාව, අවම හරිතාගාර වායු විමෝචනය, ගොඩනැගිලි ඇතුළත ඉහළ ගුණාත්මක වායුගෝලීය තත්ත්වයක් පවත්වාගෙන යාම සහ සම්පත් කළමනාකාරීත්වය යන අංශවල ඉහළ කාර්යඵලසාධනයක් වාර්තා කිරීම අරමුණු කරගත් ගොඩනැගිලි සැලසුම් වෙත පමණි.

ඒ අනුව ගත්කල, අමෙරිකානු හරිත ඉදිකිරීම් කවුන්සිලයේ LEED සහතිකයක් හිමිකරගැනීම යනු අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා ඉහළ ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුව පවතී. තව ද, තිරසාර පරිශ්‍රය, ජල පරිභෝජන කාර්යක්ෂමතාව, බලශක්තිය හා පරිසරය, අමුද්‍රව්‍ය හා සම්පත්, සහ ගොඩනැගිලි ඇතුළත වායුගෝලීය ගුණාත්මක බව යන අංශ පහ ඔස්සේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ද ඊට ඇතුළත් ය.

මේ අතර, තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ක්‍රියාවලියක් බවට පත්කරමින් හරිතාගාර වායු විමෝචනය තුළින් සිදුවන බලපෑම 100%කින් උදාසීන කළ ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් ආයතන සමූහය බවට පත්වීමේ ගෞරවය ස්ටාර් ගාමන්ට්ස් සමූහය හිමිකරගත් අතර, ඒ සඳහා වූ ලොව පිළිගත් CarbonNeutral®,සහතිකය, ලොව ප්‍රධානතම කාබන් සැපයුම්කරු වන Natural Capital Partners වෙතින් ලබාගැනීමට හැකිවිය. 2020 වසරේදී සමූහය සතු කර්මාන්තශාලා 14 මගින් විමෝචනය කළ සමස්ත හරිතාගාර වායු පරිමාව වන17,581.09tCO2eපරිපූර්ණ වශයෙන් ශූන්‍ය කරමින් ඇරඹි කාබන් ශූන්‍ය වැඩපිළිවෙල, 2021 වසර වන විට තම නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ පරිසර හිතකාමී කරමින් සමස්ත හරිතාගාර වායු විමෝචන පරිමාව 14,474 tCO2e දක්වා පහත හෙළූ අතරඑයින් නොනැවතී, එම පරිමාව ද ලොව පිළිගත් කාබන් ශූන්‍ය කිරීමේ ක්‍රියාවලිය යටතේ ශූන්‍ය කරන ලදී.

පාරිසරික බලපෑම සහ තිරසාර ප්‍රතිලාභ පිළිබඳ ඉහළ අවධානයක් යොමුකරමින්සෙසු සමාගම් හා ආයතන වෙත ද තිරසාරභාවය පිළිබඳ ආදර්ශයක් සැපයීම, ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ ඉලක්කය වේ. ඒ අනුව, 2021 වසරේදී තම සියලුම කර්මාන්තශාලා වෙත HIGG Facility Environmental Module (HIGG FEM)යටතේ කාර්යක්ෂමතා ඇගයීම කිරීම ද සමාගමේ අභිප්‍රාය වී ඇත. එමෙන්ම CLEANCHAIN ක්‍රමවේදය අනුගමනය කරමින් 2023 වසර වනවිට, සිය සමස්ත රසායනික භාවිතය තුළ විෂ රසායන භාවිතය වැළැක්වීමට ද සැලසුම් කර තිබේ. ඊට අමතරව INSEE ECOCYCLE හා එක්ව තම කාර්මික අපද්‍රව්‍ය 100%ක් පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමට ද ස්ටාර් ගාමන්ට්ස් සමූහය මුලපුරා ඇත.

Visits: 94