ජනවාරි 03 සිට CSE ගණුදෙනු කාලය විනාඩි 30කින් ඉහළට – හෙට ගණුදෙනු 12.30 තෙක් පමණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා වන කාල සීමාව ලබන වසරේ ජනවාරි 03 වැනි සඳුදා සිට විනාඩි 30 කින් ඉහළ නංවන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව එදින සිට ගනුදෙනු ආරම්භය පෙරවරු 10.30ට සිදුවන බවත්, එය පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙයි.

පසුගිය වසරේදී රට තුළ බලපෑ වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යළිත් ආරම්භ වූ අවස්ථාවේදී එහි ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පමණක් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, ඒ හේතුවෙන් ගනුදෙනු කාලසීමාව ඉහළ නංවන ලෙසටද බොහෝ පාර්ශ්ව වෙතින් යෝජනා ඉදිරිපත් වී තිබුණි.

මේ අතර හෙට (දෙසැම්බර් 24දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පස්වරු 12.30ට නිමා කරන බවත් දැනුම් දී තිබේ. නත්තල් දිනය සෙනසුරාදාට යෙදී තිබීම හේතුවෙන් දින භාගයක නිවාඩුවක් හිමිවීම ඊට හේතුව වී ඇත.

Visits: 702