කප්රුක මූලික කොටස් නිකුතුව වෙත අධි දායකත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉ-වාණිජ සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම විසින් අද (දෙසැ 22දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි විවෘත කරන මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා අධි දායකත්වයක් හිමිව ඇතැයි පවසයි.

ඒ අනුව මෙම මූලික කොටස් නිකුතුව සඳහා අයැදුම්පත් භාර ගැනීම ඇරඹුණු දිනයේ සිට අද පෙරවරුව දක්වා මේ සඳහා කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ්හි කොටස් 32,826,000ක් සඳහා වන රුපියල් මිලියන 825ක් (825,000,000ක්) වටිනා අයැදුම්පත්‍ර ලැබී ඇතැයි එම සමාගම පවසයි.

සමාගම මගින් ප්‍රසිද්ධියට පත් කරන ලද සංස්ථා ප්‍රකාශයට අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වූ මුදල රුපියල් මිලියන 505 කි. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 32,826,000ක් නිකුත් කෙරුණු අතර, කොටසක වටිනාකම රුපියල් 15.40ක් ලෙස සඳහන්ව තිබුණි.

ඒ අනුව මෙම මූලික කොටස් නිකුතුව විවෘත කෙරුණු අද (22දා) දිනයේදී පස්වරු 4.30ට එම නිකුතුව නිමා කිරීමටද කප්රුක හෝල්ඩිංග්ස් සමාගම තීරණය කර තිබේ. ඒ දක්වා හිමිවන ඉල්ලුම්පත්‍ර භෘර ගන්නා බවත් සමාගම පවසයි.

මේ අතර, කප්රුක සමාගමේ නිර්මාතෘ දුලිත් හේරත් මහතාද ඊයේ රාත්‍රියේදී සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව අධි දායකත්වයක් හිමි වූ බව පවසා තිබුණි.

Visits: 238