HNB Finance රු.බිලියන 2.1කට ප්‍රයිම් ෆිනෑන්ස් මිලදී ගනී

HNB සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත HNB Finance PLC සමාගම මගින් ප්‍රයිම් සමූහයට අයත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 87.27%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු කළ බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ ගනුදෙනුවක් ලෙස මෙම මිලදීගැනීම සිදු කර තිබේ. ඒ අනුව මෙහිදී ප්‍රයිම් ලෑන්ඩ් (පෞද්) සමාගම සතුව තිබූ ප්‍රයිම් ෆිනෑන්ස්හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 105,602,251ක් එනම්, සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණයෙන් 87.27%ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට HNB Finance PLC කටයුතු යොදා තිබේ.

මෙම ගනුදෙනුවට අදාළ එකඟතාවට පිවිසීම ඊයේ දිනයේදී සිදුව ඇත. මෙහිදී කොටසක් රුපියල් 20.10කට මිල කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.1ක් (2,122,605,245.1ක්) ලෙස සටහන්ව තිබේ.

සමාගම් දෙකම සඳහන් කරන ආකාරයට මෙම අලෙවියට අදාළ කටයුතු ලබන දෙසැම්බර් 23 වැනිදා වනවිට සම්පූර්ණයෙන්ම නිම කිරීම අදහස වී තිබේ. ඒ අනුව එදින සිට ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 87.27%ක කොටස් හිමිකාරීත්වයක් HNB Finance PLC වෙත හිමිවීමට නියමිතව තිබේ.

එසේම මෙලෙස 87.27%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමත් සමගින්ම ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සීහි ඉතිරි කොටස් ප්‍රමාණයත් තමන් සතු කරගැනීමේ අවස්ථාවක් HNB Finance PLC වෙත හිමිව ඇති බවත් එම සමාගම් පවසයි.

2021 මාර්තු 31 වැනිදා නිකුත් කෙරුණු එම සමාගමේ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මුල් කොටස් හිමිකරුවන් 20 දෙනා මෙලෙස සඳහන්ව තිබුණි.

ඒ අනුව එම කොටස්ද සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමෙන් අනතුරුව 2007 අංක 07 දරණ සමාගම් පනතේ 239 වැනි වගන්තිය යටතේ HNB Finance PLC සහ ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ කිරීමේ අවස්ථාවක්ද උදා වන බවත් එම සමාගම් සඳහන් කරයි.

විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගෙන යා යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳ නියමයන් වෙත අනුකූලතාවක් දැක්වීම වෙනුවෙන් මෙලෙස එම සමාගම් දෙක ඒකාබද්ධ කිරිමක් සිදුවන බව පවසන සමාගම, මෙලෙස එවැනි සමාගම් ඒකාබද්ධතාවක් සඳහා මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී ඇති බවත් පවසා සිටියි.

2000 වසරේදී HNB Grameen Finance Limited ලෙස ආරම්භ වූ HNB Finance PLC සමාගම 2011 වසරේදී ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයත් සමගම ප්‍රයිම් ග්‍රාමීන් ලෙස සන්නාමකරණය විය.

පසුව 2015 වසරේදී හැටන් නැෂනල් බැංකුව මගින් වැඩි කොටස් ප්‍රමාණයක් යළිත් අත්පත් කරගැනීමත් සමග HNB ග්‍රාමීන් ෆිනෑන්ස් සමාගම බවට පත්විය. පසුව 2018 වසරේදී එය HNB Finance Limited ලෙස සන්නාමකරණයට විය.

2020 පෙබරවාරි 17දා සිදුකළ මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව HNB Finance Limited සමාගම HNB Finance PLC ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි-සවි පුවරුවෙහි ලැයිස්ගුතවී තිබේ.

අද වනවිට HNB Finance Limited හි කොටස් අතරින් 51% ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව වෙත හිමිව ඇති අතර 38.8%ක කොටස් ප්‍රතිශතයක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම වෙත හිමිව තිබේ.

HNB Finance Limited සතු ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් පාරිභෝගිකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසකට සේවා සලසන බවත්, ඒ සඳහා සේවකයන් 2,008ක් යොදවා ඇති බවත් සමාගම පවසා සිටියි.

මේ අතර 2004 වසරේදී ස්ථාපිත කෙරුණු ප්‍රයිම් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මූල්‍ය සමාගමක් ලෙස බලපත්‍රය හිමි කරගෙන ඇති අතර, 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි මූල්‍ය ලීසිං සමාගමක් ලෙස ක්‍රියාත්මක විය. එය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වන්නේ 2012 සැප්තැම්බර් 12 වැනිදාය.

Visits: 374