දිගුකාලීන ණය කාලසීමාවකට බොරතෙල් ලබා ගැනීමට නයිජීරියාව හා සාකච්ඡාවක්

නයිජීරියාවෙන් බොරතෙල් සැපයුම් සිදු කරගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (දෙසැ. 20දා) දිනයේදී පැවැත් වුණු බව බලශක්ති අමාත්‍ය  උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ නයිජීරියාව සමගින් ඇති කරගන්නා දිගුකාලීන ණය කාලසිමාවක් පිළිබඳ එකඟතාවක් යටතේ එම බොරතෙල් සැපයුම සිදු කරගැනිම අදහස වී තිබේ.

ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් අහ්මඩ් සුලේ යන මහත්වරුන් අතර මෙලෙස ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත් වී තිබේ.

අද වනවිට රට මුහුණ දී තිබෙන විදේශ මුදල් සංචිත හිඟතාව හේතුවෙන් මෙරට වෙත බොරතෙල් ආනයනය කිරීමේ දැඩි අර්බුදයකට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් මෙරට පිහිටි සපුගස්කන්ද බොරතෙල් පිරිපහදු පරිශ්‍රයේ කටයුතු වෙතද එය බලපෑම් එල්ල කර තිබේ.

මෙම බොරතෙල් සැපයුමේ බාධා නිසා පසුගිය මාසයේ අග සතියේදී මෙම සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීමක් සිදු වූ අතර, පසුව එය දෙසැම්බර් 07 වැනිදා යළි විවෘත කිරීමක් සිදු විය. එහෙත් දැනට පවතින ඩොලර් අර්බුදය හමුවේ යළිත් වරක් බොරතෙල් ආනයනයට බාධා එල්ල වුවහොත් එම පිරිපහදුව යළිත් වටයකට වසා දැමීමක් සිදුවනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

Visits: 103