චන්න ද සිල්වා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

පසුගියදා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වූ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ චන්න ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි. ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

2021 දෙසැම්බර් 19 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ. එම අවස්ථාව වනවිට ඒ මහතා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර නවයක කාලයක් ධුරය දැරීම මෙලෙස ඉවත්විට හේතුව වී තිබේ. 2008 අංක 03 දරන මූල්‍ය සමාගම් (සාංගමික පාලනය) පිළිබඳ උපදෙස් අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට එම ධුරය දැරිය හැකි උපරිම කාලසීමාව වසර නවයකි.

2011 වසරේ අප්‍රේල් මාසයේදී ඒ මහතා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්විය. අනතුරුව ඒ මහතා 2014 වසරේදී එහි උප සභාපතිවරයා ලෙස පත් කෙරිණි. අනතුරුව 2016 ඔක්තෝබර් මාසයේදී ඔහු සමාගමේ සභාපතිවරයා බවට පත්විය.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හා සම්බන්ධවිමට පෙරාතුව ඔහු සමිට් ෆිනෑන්ස් පීඑල්සී සහ ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

මෙලෙස සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සභාපති ධුරයෙන් ඉවත්වන අවස්ථාව වනවිට චන්න ද සිල්වා මහතා සතුව එම සමාගමේ කොටස් 323,200ක හිමිකාරිත්වයක් පැවැති බවත් එම සමාගම අනාවරණය කරයි.

මේ අතර චන්න ද සිල්වා මහතාගේ ඉවත්වීමෙන් හිස්වන සමාගමේ සභාපති ධුරය සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් කර නැති අතර, සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ටී.ඩී. ගමේගම මහතා දෙසැම්බර් 17 වැනිදා සිට ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇතැයිද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම සඳහන් කරයි.

Visits: 209