CSE හි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය අද (දෙසැ. 20) සිට වෙනස්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකයේ ලැයිස්තුගත කෙරී ඇති සමාගම් 2ක් අද (දෙසැ 20දා) දිනයේ සිට ඉන් ඉවත්වීමක් සිදු වන බවත් ඒ වෙනුවට වෙනත් සමාගම් 2ක් ඊට ඇතුළත් කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ඩෝව් ජෝන්ස් දර්ශකය (S&P Dow Jones) මගින් 2021 වසරේ අවසානය සමගින්ම සිදු කරන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයේ සමතුලිතකරණය යටතේ මෙලෙස සමාගම් ඉන් ඉවත් කිරීම සහ ඇතුළත් කිරීම සිදුව තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා (දෙසැ17දා) දිනයේදී අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු නිමාවීමෙන් අනතුරුව අද සඳුදා දිනයේ ආරම්භයත් සමගින්ම මෙම සමාගම් වෙනස් කිරීම බලාත්මක වෙයි.

කොළඹ කොටස් හුවමාරුව මගින් සඳහන් කරන ආකාරයට මෙම ඉවත්වීම යටතේ රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී (RICH.N0000) සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී (BRWN.N0000) යන සමාගම් මෙලෙස S&PSL20 දර්ශකයෙන් ඉවත් වන සමාගම් වෙයි.

එසේම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC.N0000) සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් (LOFC.N0000) යන යන සමාගම් S&PSL20 දර්ශකය වෙත අද දිනයේ සිට එකතු වී තිබේ.

වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ සමස්තය ඇතුළුව තවත් කාරණා කීපයක් පදනම් කරගනිමින් විශාලතම සමාගම් 20 අනුව මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කෙරේ. එහිදී සමාගම් 20ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි. මෙහිදී උපරිම විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාව යනාදී කරුණු සලකා බැලේ.

මෙය GICS (Global Industry Classification Standard) නම් ජාත්‍යන්තර ප්‍රමිතීත්ට අනුව මෙම කොටස් වර්ගීකරණය කෙරෙමින් සැකසෙන්නකි.  

මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කිරීමේ සම්ප්‍රදාය මේ වනවිට අර්ධවාර්ෂික ආකාරයෙන් පවත්වාගෙන එයි. මීට පෙර එය වාර්ෂිකව සකස් කිරීම සිදු විය. සෑම වසරකම ජූනි සහ දෙසැම්බර් මාසවලදී මෙම දර්ශකය වෙත අලුතින් සමාගම් එකතුවීම සහ ඉවත් වීම සිදු වෙයි.

මෙහිදී S&P Sri Lanka 20 දර්ශකය වෙත ඇතුළුවීම සඳහා සමාගමක් සතුව ශ්‍රී ලංකාරුපියල් මිලියන 500 ක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක්, මාස හයක් පුරාවට රුපියල් මිලියන 0.25ක් වටිනා මධ්‍යයන වෙළෙඳාමක් සහ මෙම දර්ශකය සමතුලිත කිරීමේ දිනයට මාස 12කට පෙරාතුව වඩාත් යහපත් දළ ආදායමක් පැවැතීම යනාදී කරුණු පැවතිය යුතු බව නිර්දේශ කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ මෙම නව S&P Sri Lanka 20 දර්ශකය සහ ඊට අදාළ සමාගම් සහ එම කොටස්හි සංකේත පහත දැක්වෙයි.

Visits: 385