සෙලින්කෝ, සම්පත් මුල් පෙළේ කොටස්හිමිකරු ප්‍රභාෂ් සුභසිංහ හේමාස් අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු මෙන්ම ආයෝජකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා නම් කළ බව එම සමාගම පවසයි. පසුගියදා රැස් වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම නම් කිරීම සිදු කර තිබේ.

ලබන ජනවාරි 01 වැනිදා සිට ඒ මහතා මෙලෙස එම සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමට නියමිතව තිබේ. මෙම පත්විම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයක් පවතින්නේද යන්න මෙහිදී අනාවරණය කර නැත.

ප්‍රභාෂ් සුභසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ආසන්නතම හිටපු සභාපතිවරයාද වෙයි. එසේම මෙරට සුප්‍රකට ව්‍යවසායකයෙකු වන ඒ මහතා ගෝලීයව පිළිගත් දේශීය සමාගම් පිහිටුවීමේ ඉහළ සාර්ථකත්වයක් ලබා ගත් තැනැත්තෙකු ලෙසද ප්‍රකටව සිටියි.

අද වනවිට ඒ මහතාගේ ව්‍යාපාර මෙහෙයුම් ටයර් නිෂ්පාදන, මුහුදු ආහාර, රක්ෂණ, බැංකුකරණ, සුඛෝපභෝගී නිශ්චල දේපළ යනාදී ක්ෂේත්‍ර වෙත ව්‍යාප්තවී ඇති අතර, එම ව්‍යාපාර ආසියාව තුළ සාර්ථක ව්‍යපාර බවටද පත්ව තිබේ.

ලොව පුරා සිය නිෂ්පාදන අලෙවි කරන GRI ටයර් සන්නාමය හිමි ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ඒ මහතාය. එසේම ඔහු විසින් ආරම්භ කරන ලද ග්ලොබල් සී ෆුඩ්ට් පෞද්ගලික සමාත අද වනවිට යුරෝපය, එක්සත් ජනපදය, ජපානය ඇතුළු පුම්‍රඛ පෙළේ රටවලට ඉහළ ගුණාත්මකබවින් යුත් මුහුදු ආහාර අපනයනය සිදු කරයි. එහිදී නැවුම්, අධිශීතකළ සහ අමුද්‍රව්‍ය ලෙස මෙම මුහුදු ආහාර අපනයනය කිරීම සිදු වෙයි.

මීට අමතරව මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමේ නිර්මාතෘවරයා වන්නේද ප්‍රභාෂ් සුභසිංහ මහතාය. එම සමාගම අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් රැසකම සිය ආයෝජන සිදු කර තිබේ. එසේම මාලදිවයිනේ පිහිටි සුඛෝපභෝගී නිශ්චල දේපළක් වෙතද එම සමාගම ආයෝජන සිදු කර ඇත.මේ අතර අද වනවිට ප්‍රභාෂ් සුභසිංහ මහතා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවෙකුද වෙයි. එසේම මෙරට මුල් පෙළේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවෙහිද ප්‍රධානතම කොටස් හිමිකරුවන් අතර ඒ මහතා සිටියි.

Visits: 722