දර්ශක අගයන් පහළ වැටෙද්දී ප්‍රයිම් ෆිනෑන්ස් ගනුදෙනුව දිනයේ පිරිවැටුම ඉහළ දමයි

අද (දෙසැම්බර් 20) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී කැපී පෙනෙන ලෙස ලාභ ඉපැයීම් වෙත යොමු විම නිසා වෙළෙඳ පොළ පසුබෑමට ලක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම පසුගිය 17 වැනිදා නිකුත් වූ ෆිච් රේටිංග්ස් ශ්‍රේණිගත කිරීමේ වාර්තාව හේතු වී තිබේ.

මේ අතර පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව ප්‍රයිම් ෆිනෑන්ස් හි සිදු වුණු ගනුදෙනුව දිනය තුළ පිරිවැටුම ඉහළයාමට දායකත්වය ලබා දී තිබේ. කෙසේ වෙතත් රටෙහි ආර්ථික තත්ත්වය පිළබඳ වන කණස්සල්ල ආයෝජකයන්ගේ උනන්දුව වෙත බලපා ඇතැයිද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,622.78ඒකක 11,831.85ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,650.10ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 17) දිනයට සාපේක්ෂව ඒකක 103.34ක් එනම් 0.88%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+19.6), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+5.0), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+3.6), සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී SINS (+3.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+2.9), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-31.1), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-12.0), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-8.3), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-6.8), හේලීස් පීඑල්සී HAYL (-5.9) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී, ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සහ හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදනු දිනයේ පිරිවැටුමෙන් 40.7%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 53ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 151ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,190.37ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 17) ‍ට සාපේක්ෂව ඒකක 63.30ක එනම් -1.49%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා  (දෙසැම්බර් 17) වාර්තා කළ රුපියල් බිලියන 4.79ට  සාපේක්ෂව 12.9% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 75.83%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 56.81ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 104.81ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 48.0කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.73කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 20.84ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,484ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 43%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 761ක සහ රුපියල් මිලියන 540ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 276