උඩුගම රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම දෙසැම්බර් 22 වැනිදා

සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහයෝගයද සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදිකළ අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය 2021 දෙසැම්බර් 22 වන බදාදා සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන බව වටවල වැවිලි සමාගම සහ ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගම සඳහන් කරයි.

ඇඳන් 05 කින් සමන්විත මෙම දැඩි සත්කාර ඒකකය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, නෙළුව, තවලම, නාගොඩ, යක්කලමුල්ල, හිනිදුම, නාකියාදෙණිය යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සෙත සැලසෙන අතර කරාපිටිය රෝහලේ තිබෙන දැඩි සත්කාර ඒකකයට පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධානතම දැඩි සත්කාර ඒකකයක් බවට උඩුගම මූලික රෝහලේ මෙම දැඩි සත්කාර ඒකකය ඉදිරියේදී පත්වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා සමාගම් දෙක එක්ව රුපියල් මිලියන 100 ක් පමණ වැයකර තිබේ.  

මෙම දැඩි සත්කාර ඒකකය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන අතර එම අවස්ථාවට සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ, විෂ් ගෝවින්දසාමි මහතා ඇතුළු වටවල වැවිලි සමාගමේ නියෝජිතයින්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතය.  

උඩුගම රෝහලේ දැඩි සත්කාර ඒකකයක් නොමැති කමින් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට ලක්වූ අතර එම රෝහලේ සංවර්ධන කමිටුවේ ඉල්ලීම මත මෙම පරිත්‍යාගය සිදුකර ඇත. මෙම දැඩි සත්කාර ඒකකය ඉදිකිරීමට උඩුගම රෝහල් කමිටුවේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයද හිමිවූ බව වටවල වැවිලි සමාගම සඳහන් කරයි. මෙය ගොඩනැගීමට සමගාමීව උඩුගම රෝහලේ කාර්ය මණ්ඩලයද පුහුණු කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රජාව වෙනුවෙන් වටවල වැවිලි සමාගම සිදුකළ මෙම සත්කාරය පිළිබඳව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ, විෂ් ගෝවින්දසාමි මහතා මෙසේ අදහස් දැක්වීය.

“කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිටම විශේෂයෙන්ම වැඩිපුර පීඩාවට පත් ජනතාවට අවශ්‍යම සෞඛ්‍ය පහසුකම් සැපයීමට වටවල වැවිලි සමාගම රජයට සහයෝගය දැක්වූවා. ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ව පිළිබඳව අපි සෑමවිටම ප්‍රමුඛත්වයක් දෙන නිසා කොවිඩි -19 පළමු රැල්ලේ සිටම අපි ජනතාවට සහයෝගය ලබාදුන්නා. උඩුගම මූලික රෝහලේ ඇඳන් 05 කින් සහ අවශ්‍ය පහසුකම් වලින් යුත් දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමට අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100 කට ආසන්න මුදලක් වැයකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ටාටා කමියුනිකේෂන් ලංකා ලිමිටඩ් අපි සමග අත්වැල් බැඳ ගත්තා. මෙම දැඩි සත්කාර ඒකකය මගින් කාලීන අවශ්‍යතා ඉටුකරනවා සේම එමගින් දිගුකාලීනව රටට සෙතක් සලසාවි. වටවල වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට කැපවන අතර එය දිගුකාලීන වශයෙන් වසංගතයට මුහුණදීමට වැදගත් වෙනවා.“     

මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු උඩුගම රෝහල් සංවර්ධන කමිටුවේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.

Visits: 85