සම්පත් බැංකුව 11 වැනි වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රධාන අනුග්‍රාහකයා වෙයි

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ එකොළොස් වසක් සැපිරූ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්වෙමින් 2021 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලද වර්ණවත් කිරීමට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කර තිබේ.

කියවීමෙන පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ වගකීමද සමගින් සම්පත් බැංකුව මෙම අවස්ථාව වෙත සම්බන්ධ වූ බව පවසයි.
ජාතික උරුමයන්, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී ^ආයතනික බැංකුකරණ) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්මානයන්හි ඉහළම ත්‍යාග මුදල හිමි කර දෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ජයග්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 750,000ක මුදලක් ත්‍යාග ලෙස හිමි කර දෙන අතර අවසන් වටයට තේරුණු නවකතා පහක් වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමි කර දීම විශේෂත්වයකි. එහි පූර්ණ දායකත්වය සළසනු ලබන්නේ සම්පත් බැංකුවයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර, මෙවර වසංගත තත්වය හේතුවෙන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොපැවැත්වීම නිසා එම සම්මාන උළෙල දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරිණ.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත 2020 වසරේදී පළ කරනු ලැබූ නවකතා 109 ක් අතුරින් 10 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් නවකතා 12ක් දෙවන වටය සඳහා තෝරා ගන්නා ලදී. එම නවකතා 12 අතුරින් සුවිශේෂී නවකතා අතර 05 අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ අතර ඊට 5 දෙනෙකුන් සමන්විත විද්වත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වී තිබේ.
ඒ අනුව සෝමරත්න බාලසූරිය විසින් රචිත මුක්ති, ආරියවංශ අබේසේකර විසින් රචිත ආරාමදාස, කත්‍යානා අමරසිංහ විසින් රචිත බාණ කුසුම්, රූපා ශ්‍රියානි ඒකනායකගේ භේරුණ්ඩ කැදැල්ල, සහ තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත ජීවිතයේ ඔයිල් පැල්ලම් යන නවකතා අවසන් වටයට තෝරා ගෙන තිබේ.

එහිදී සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය වන ස්වර්ණ පුස්තක සම්මානය හිමි කර ගැනීමට මෙවර සමත් වූයේ රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත භේරුණ්ඩ කැදැල්ල නවකතාවයි.

Visits: 55