LOLC General Insurance මූලික කොටස් නිකුතුව අද (දෙසැ. 16) විවෘත කෙරේ

LOLC සමූහය යටතේ පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක LOLC General Insurance Limited සමාගම (LGIL) කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම සඳහා වන මූලික කොටස් නිකුතුව අද (දෙසැම්බර් 16 වැනිදා) විවෘත කිරීමට නියමිතව තිබේ.

සමාගම අනාවරණය කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුව යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 120,000,000ක් නිකුත් කිරිම සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 7.90ක් ලෙස සඳහන්ව ඇති අතර, එම නිකුතුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 948කි (948,000,000ක්).

මෙම නිකුත් කරන කොටස් ප්‍රමාණය එම සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 10%ක ප්‍රතිශතයක් බවත් සමාගම පවසයි.

මෙම නිකුතුවේ ඒකාබද්ධ කළමනාකරුවන් ලෙස පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් (පෞද්) සමාගම සහ කැපිටල් ට්‍රස්ට් පාර්ට්නර්ස් (පෞද්) සමාගම කටයුතු කරන බව පවසයි.

ලබන දෙසැම්බර් 21 වැනිදා දක්වා මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම විවෘත කර තැබෙන බවත් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේදී මෙම නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව ඒ සඳහා අධි දායකත්වයක් හිමි වුවහොත් එය අද පස්වරු 4.30ට වසා දැමෙන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මෙම නිකුතුවෙන් අනතුරුව LOLC General Insurance Limited සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි ලැයිස්තුගත වෙනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 291