නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ඉලක්කගත අපනයන වර්ධන ක්‍රමෝපායක් දියත් කරයි

සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තිරසාර ප්‍රජනන සහ නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කරන ප්‍රකට සහ විශ්වාසනීය සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, මෙරට ප්‍රමුඛතම මස් ආහාර අපනයනකරුවෙකු ලෙස සිය වෙළඳපොළ ස්ථාවරත්වය වර්ධනය කිරීමට ගෙන ඇති ක්‍රමෝපායික සැලසුම් පසුගියදා නිවේදනය කරන ලදී.

වර්තමාන වසංගත සමය හමුවේ මතුව ඇති විවිධ අභියෝග මධ්‍යයේ වුව ද, ප්‍රධාන අපනයන වෙළඳපොළ රැසක් සමඟ සබඳතා දියුණු කරගනිමින්, රටට විදෙස් විනිමය උපයා දීමට මෙන්ම ගෝලීය වෙළඳපොළ තුළ මෙරට මස් ආහාර නිෂ්පාදන අංශය ඉහළට ඔසවා තැබීමට ද සමාගමට හැකිවිය. 2021/22 වර්ෂය තුළ නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ සමස්ත අපනයන ආදායම් ඉලක්කය අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියනයක අපනයන ආදායමක් ළඟා කරගැනීමට සමාගම සමත්ව තිබේ.

සමාගම තම අපනයන කටයුතු සිදුකරනුයේ ඇන්තනීස් (Anthoney’s) සහ නොබයොටික් චිකන් (NoBiotic Chicken) යන ස්වකීය වෙළඳ නාම මගිනි. සිය සමස්ත ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ ආහාර සුරක්ෂිතතාව, ගුණාත්මකබව සහ පරිසර හිතකාමීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන සමාගම,තම සැපයුම් දාමය පිළිබඳව ද සුවිශේෂ සැළකිල්ලක් දක්වයි. එනම්, ගොවිපොළේ සිටින කුකුළු පැටවුන්ගේ පටන් සත්ත්ව ආහාර සැපයුම් දක්වා ද, තිරසාර ඇසුරුම් ක්‍රමවේද මෙන්ම මෙරට ප්‍රමුඛතම ක්ෂණික ආහාර අවන්හල් ජාල, සුපිරි වෙළඳසැල්, හෝටල්, බේකරි ඇතුළු ගමනාන්ත වෙත කුකුළු මස් නිෂ්පාදන සැපයීමේදී ද එම අවධානය පවත්වාගැනීමට සමාගම යුහුසුළුව කටයුතු කරයි. 

″ශ්‍රී ලංකාවේ මෙන්ම ඉදිරියේදී මෙම කලාපයේම ප්‍රමුඛ මස් ආහාර වර්ග අපනයනකරුවෙකු බවට පත්වීමට අපිට විශාල අරමුණක් තිබෙනවා. දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ මස් ආහාර නිෂ්පාදන සඳහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් මාස ගණනාවක් මුළුල්ලේ අති නවීන නිෂ්පාදන පහසුකම් සංවර්ධනයට මුදල් ආයෝජනය කිරීමට අප සමාගම කටයුතු කළා. එහිදී විශේෂයෙන්ම පරිසර හිතකාමී සහ තිරසාර නිෂ්පාදන මාදිලියක් බිහිකරගැනීමටත් අපට හැකිවීම විශාල ජයග්‍රහණයක්″ යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ සභාපති/ සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

ඇන්තනීස් ෆාම්ස් හි කුකුළු මස්, සියයට සියයක්ම ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලියක් භාවිතයෙන් නිෂ්පාදනය කරන අතර කිසිදු හෝමෝන එකතු කිරීමක් සිදු නොවේ. එමෙන්ම, ප්‍රතිජීවකවලින් ද තොර ය. ඒ හරහා පාරිභෝගිකයින්ට ඉහළ සුරක්ෂිතතාවක් හා විශ්වාසයක් පිරිනමන අතරම, මස්වලට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එක් කිරීමටත්, නිෂ්පාදනවල රසය, සුවඳ සහ නැවුම්බව ආරක්ෂා කරගැනීමටත් කටයුතු කර තිබේ.

තිරසාර මස් ආහාර නිෂ්පාදන සංකල්පය යනු නිව් ඇන්තනීස් ෆාම්ස් ආයතනයට ආකර්ෂණීය පද පෙළක් පමණක් නොවේ. සෑම විටම අනුලංඝනීය සහ ජෛව විද්‍යාත්මකව ආරක්ෂිත ගොවිපළ ක්‍රමවේද භාවිත කරන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම, අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලය විසින් හඳුන්වා දෙන ලද සත්ත්ව සුබසාධන ප්‍රමිතීන් ද නිසි ලෙස අනුගමනය කරයි. තව ද, GMP, HACCP, සහ ISO 22000 වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක් සමාගම සතු වන අතර, දේශීය හා ජාත්‍යන්තර හලාල් ප්‍රතීතන සහතික ද, ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදකයෙකු සතු එකම GHC සහතිකය ද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට හිමිව තිබේ.

වර්ෂ 1986දී කුඩා පරිමාණයෙන් ඇරඹුණු නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අද වන විට, තිරසාරත්වය හා වගකීම් සහගත බව සහතික කරන ගෝලීය මට්ටමේ ප්‍රමිතීන් සහ භාවිතාවන් අනුගමනය කරන මෙරට වේගයෙන්ම වර්ධනය වන මස් ආහාර නිෂ්පාදකයෙකු බවට පත්ව ඇත.

Visits: 93