ආයෝජකයන් LOLC සමූහය තුළින් ලාභ ඉපැයීම් වෙත යොමුවීමත් සමග දර්ශක අගයන් පහළ බසී

අද (දෙසැම්බර් 15) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී ආයෝජකයන් වැඩි වශයෙන් LOLC සමූහයට අයත් සමාගම් තුළින් ලාභ ඉපැයීම් වෙත යොමුවීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම අනෙකුත් වටිනා සමාගම් කෙරෙහි වූ මිලදී ගැනීම්ද ඉහළ මට්ටමකින් පැවතී තිබේ. එහිදී හේලීස් සමූහයේ සමාගම් කෙරෙහි අලුතින් මිලදී ගැනීමේ උනන්දුවක් දැකගත හැකි වී තිබේ. මේ අතර අද දිනයේදී ලැයිස්තුගත වූ CAL සමාගමේ මූලික කොටස් නිකුතුවේ කොටසක වටිනාකම දිනය අවසානයේදී දෙගුණයකින් ඉහළ යාම සිදු විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,657.34ඒකක 11,871.72ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,754.46ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 14) දිනයට සාපේක්ෂව ඒකක 42.42ක් එනම් -0.36%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+10.5), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (+10.2), කැපිටල් එලායන්ස් ලිමිටඩ් CALT (+8.0), ටීජේලංකා පීඑල්සී TJL (+3.4), හේලීස් පීඑල්සී HAYL (+3.3), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-35.1), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-10.6), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-10.0), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-5.5), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-5.2) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, රිසස් එනර්ජි පීඑල්සී, ලංකා අයිඕසී පීඑල්සී සහ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදනු දිනයේ පිරිවැටුමෙන් 1.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 87ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 118ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,233.02ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 14) ‍ට සාපේක්ෂව ඒකක 15.5ක එනම් -0.37%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.44ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 14) වාර්තා කළ රුපියල් බිලියන 8.49ට  සාපේක්ෂව 12% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.25ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 77.4%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 55.09ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 127.23ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 72.14කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.48ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.2කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් කොමර්ෂල් බැංකුව ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 42.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,724ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 23%කි. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,544ක සහ රුපියල් මිලියන 1,335ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 173