Kia මෝටර්ස් (ලංකා) වෙතින් පාරිභෝගික ජංගම දුරකතන යෙදවුමක්

Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් Kia වාහන හිමිකරුවන්ට ක්ෂණිකව සිය නඩත්තු සේවා සහ තොරතුරු සඳහා ප‍්‍රවේශ වීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙන අතර එමගින් සමාගම ලබාදෙන සියළුම අලෙවි සහ අලෙවියෙන් පසු සේවා සඳහා ප‍්‍රවේශය ගනුදෙනුකරුවන්ගේ ඇඟලි තුඩට රැගෙනවිත් තිබේ.

ඇන්ඩ්‍රොයිඞ් සහ iOS උපකරණ දෙවර්ගය මගින්ම ක‍්‍රියාත්මක කළ හැකි Kia ලංකා ජංගම දුරකතන මෙම යෙදවුම මගින් වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන් වීමට බලාපොරොත්තු වන Kia නවතම ආකෘතියේ වාහන මාලාව, සේවා පිළිබඳ නවතම තොරතුරු සහ ප‍්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ක්ෂණිකව push-notifications ලෙස ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙම යෙදවුම මගින් ලැබෙන අනිකුත් වාසි අතරට Kia වාහන හිමිකරුවන්ට අමතර කොටස් මිලදී ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීම, වාහන සේවාකරණය සහ අළුත් වැඩියා කටයුතු සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදීම සහ බිල්පත් ගෙවීම් කඩිනමින් සිදුකිරීමට අවස්ථාව ලබාදීම ඇතුළත් වේ.

නව වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් වෙත පූර්ව දැනුවත් භාවයක් ලබා දීමට උපකාර කිරීම සඳහා, සමාගමේ වෙළඳ ප‍්‍රදර්ශණාගාර හා අලෙවි නියෝජිතයින් සතුව පවතින Kia වාහන මාදිලිවල විස්තර ඇතුලත් කර ඇති අතර 360° යථාවාදි දසුන් පහසුකම හරහා ඒවායේ විශේෂාංග පිළිබඳ නැවුම් අත්දැකීමක් විඳ ගැනීමට පහසුකම් සපයා ඇත.  

එසේම, මෙම යෙදවුම් මගින් සේවා ලබාගැනීමට සිදුකරන වෙන්කිරීම් ඉතාමත් සරල කරමින් යාන්ත‍්‍රික සහ හදිසි අනතුරු අළුත් වැඩියා කටයුතු, ලිහිසිකරණ සේවා සහ විශේෂිත පිරිසිදු කිරීම් ලෙස වෙනම තමන්ගේ අවශ්‍යතාවයට අනුව කාලය වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත. මේ ආකාරයෙන් වෙලාව වෙන්කර ගත් පසුව Kia මෝටර්ස් සමාගමේ රියදුරෙකු හරහා වාහනය රැගෙන ගොස් අදාල සේවාව සිදුකර නැවත භාරදීමේ සේවාවද අවශ්‍ය නම් ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිබව සමාගම සඳහන් කරයි. මේ අතර, වාහනය උපරිම අයුරින් නඩත්තු කිරීම සඳහා ඊළඟ සේවාකරණ දිනය සිහිපත් කරදෙමින් ගනුදෙනුකරුවාට පූර්ව සිහිකැඳවීමේ පණිවුඩයක් එවන බව සමාගම වැඩිදුරටත් පවසයි.    

මීට අමතරව, හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ගනුදෙනුකරුවන්ට අදාළ අනතුරේ ඡායාරූප හෝ වීඩියෝවක් මෙම යෙදවුමට ක්ෂණිකව උඩුගත (Upload) කිරීම තුළින් එම අළුත්වැඩියාවන් සිදු කිරීමට වැයවන ගාස්තු පිළිබඳව ඇස්තමේන්තුවක් ලබාගැනීමේ හැකියාව ද තිබේ. එසේම, මෙම යෙදවුම හරහා කිසිදු අවදානමකින් තොරව සමාගමේ බිල්පත් වෙනුවෙන් මුදල් ගෙවීමට කඩිනමින් හා සහතික කරන ලද පහසුකම් සලසන අතර ඉන්වොයිස් සඳහා ප‍්‍රවේශය ලබාදෙමින් ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් ක‍්‍රියාවලිය සරල කර ඇත.

මෙම යෙදවුමේ තිබෙන අනිකුත් අංග අතර මාර්ගයකදී අවශ්‍යතාවයක් සිදුවුවහොත් දිනයේ පැය 24 පුරා නොමිලේ සහය ඉල්ලා සිටිය හැකිවේ. එසේම, තමන්ට ආසන්නයේම තිබෙන වෙළෙඳ නියෝජිතයින් සොයාගැනීමේ පහසුකම්ද මෙම යෙදවුමට ඇතුළත් කර ඇතැයි සමාගම සඳහන් කරයි. 

Kia මෝටර්ස් (ලංකා) සමාගම වෙනුවෙන්, සීමාසහිත ඉවෝක් ඉන්ටනැෂනල් සමාගම විසින් වැඩිදියුණු කරන ලද මෙම යෙදවුමේ පසුතලය (backend) ඇමසන් ක්ලවුඞ් සේවාවට මධ්‍යගත කර තිබේ. Kia සමාගම විසින් මෙම යෙදවුමට අදාල පාරිභෝගික දත්ත සහතික කරන ලද ඉහලම මට්ටමකින් ආරක්ෂා කරන අතර සුරක්ෂිත දත්ත පද්ධතියක් නඩත්තු කරමින් සිටී.

Kia මෝටර්ස් (ලංකා) සමාගම විසින් 1996 වසරේ සිට ශ‍්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කරමින් Kia මෙරට වඩාත් ජනප‍්‍රිය සන්නාමයක් බවට ඔසවා තබන්නට සමත්වී තිබේ. සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගම් වන Carplan සහ Autopoint (කුරුණෑගල) විසින් නායකත්වය දෙන අලෙවි සහ සේවා ජාලය මගින් රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් ඉදිකළ සමාගමේ මාලඹේ මධ්‍යස්ථානයට සහයෝගය හිමිවෙයි.

මෙහිදී, 3S වෙළෙඳ නියෝජිතයින් මගින් අලෙවි, සේවා සහ අමතර කොටස් සේවා එකම ස්ථානයකදී ලබාදෙයි. Kia මෝටර්ස් (ලංකා) සමාගමට මහනුවර සහ මාතර ප‍්‍රදර්ශනාගාර තිබෙන අතර අම්පාර, ගාල්ල සහ රත්නපුර සඳහා සේවා වෙළෙඳ නියෝජිතයින් පත්කර ඇත. මීට අමතරව, සමාගමේ අමතර කොටස් වෙළෙඳ නියෝජිතයින් කොළඹ, මොරටුව, ගම්පහ, මහනුවර, රත්නපුර, අනුරාධපුරය, මඩකළපුව සහ මාතර යන නගරවල සිටී.

Visits: 76