ඩොලර් ආදායම් ලබන සමාගම්වල වටිනාකම් ඉහළ යාමෙන් දර්ශක අගයන් ඉහළට

අද (දෙසැම්බර් 13) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී LOLC සහ BRWN සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදුව තිබේ. රුපියලේ අවප්‍රමාණය සහ මෙම සමාගම් ඩොලර් ආදායම් ලබන සමාගම් වීම එම අගයන් ඉහළ යාමට හේතුව බව වෙළෙඳ පොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්හි කොටස් වැඩි ප්‍රමාණයක් අද දිනයේදී ගනුදෙනුව ඇති අතර, EXPO සඳහා වූ උනන්දුව ආයෝජක විශ්වාසය ඉහළ දැමීමටත් සමත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම අඩු මිල කොටස්ද අද දිනයේදී විශාල වශයෙන් ගනුදෙනු විමක්ද දැකගත හැකිවී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,393.46ඒකක 11,711.65ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,662.38ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 268.90ක් එනම් 2.36%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+202.3), එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී EXPO (+51.5), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+23.1), හේලීස් පීඑල්සී HAYL (+7.6), එස්.එම්.බී. ෆිනෑන්ස් පීඑල්සී SEMB (+7.2), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-28.6), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-17.6), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.0), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.3), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-1.6) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සම්පත් බැංකුව යන සමාගම් තුළ සිදු වූ ගනුදනු දිනයේ පිරිවැටුමෙන් 2.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 108ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 107ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,193.28ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 10) ‍ට සාපේක්ෂව ඒකක 118.65ක එනම් +2.91%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා  (දෙසැම්බර් 10) වාර්තා කළ රුපියල් බිලියන 6.66ට  සාපේක්ෂව 16.8% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 75.8%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 193.62ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 362.55ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 168.93කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.41ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 100.11කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් සණස සංවර්ධන බැංකුව ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 196.81ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,838ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 23%කි. එසේම ප්‍රවාහන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,601ක සහ රුපියල් මිලියන 1,362ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 424