“2022 අය වැය මගින් දැවෙන ප්‍රශ්ණ කිසිවකටත් පිළියම් නැහැ” – පා.ම. ඉරාන් වික්‍රමරත්න

2022 – අය වැය මගින් කිසිදු පිළියමක් යෝජනා කර නොමැතැයි අය වැය තුන්වර කියවීමේ විවාදයේ අවසන් දිනයේ දී මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අමතමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

“රටේ ප්‍රමුඛතම ප්‍රශ්න විසඳන්න අය වැය තුළ කිසිදූ වැඩපිළිවෙලක් නෑ. පිළියමක් නෑ. අඩුම ගානේ අර්බුදය හරියට හඳුනාගෙනවත් නෑ. අර්බුදයේ ගැඹුර හඳුනා නොගැනීම නිසා රට තවත් අගාධයට ගෙන යමින් මේ රට මූල්‍ය බංකොලොත් භාවයට ඇද දැමීම ස්ථිර වෙමින් තිබෙනවා.”

අය වැය අවසන් විවාදයේ දී වැඩි දුරටත් කතා කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද පැවසීය.

“රට වැටී තිබෙන අර්බුදයේ, පරිමාව අපිට හොඳට තේරෙනවා. අන්න ඒ නිසා අපි වගකිව යුතු විපක්ෂයක් ලෙස, දැන් “සැපද” කියලා අහන්නේ නෑ. ඇත්ත වශයෙන්ම, අප මුහුණදී සිටින බරපතල ප්‍රශ්න අතර පළමු වැන්න තමයි, අයවැය පරතරය ඉහළ යෑම. දෙවැන්න වෙළඳ පරතරය. ඒ හරහා විදෙස් සංචිත අර්බුදය මතුව තිබෙනවා.

ජාතික ආර්ථිකය, ජාතිකත්වය වගේ විවිධ සටන් පාඨ යොදාගෙන ජනතාව රැවටීමට ලක් කිරීමයි මේ රජයේ ප්‍රතිපත්තිය. , 2006 අරගෙන බැලුවත් රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ (GDP ) ප්‍රතිශතයක් ලෙස 17.3 % තිබුණේ. හැබැයි 2014 වෙනකොට 11.40% ක් දක්වා පහළ වැටුණා.

නමුත් ඉතා කෙටි කාලයක් තුළ යළිත් වර්ධනය කරන්න ගත්තා. ඒ අනුව තමයි 2018 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 13.5% දක්වා ඉහළ ගියා. මේ කාලේ දේශපාලන කුමන්ත්‍රණත් දියත්වුනා. 2019 දී පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වුනා , අපි තවම මහ මොලකාරයා හොයනවා. අවාසනාවන්ත පාස්කු ප්‍රහාරය එල්ලවූ 2019 වසරේ පවා රාජ්‍ය ආදායම 12.6% ලෙස පවත්වා ගන්න අපි සමත් වුණා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ?”

තම රජය 2015 දී ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1000ක් ලෙස පැවැති බවත් තමන් එය 2019 දී රුපියල් බිලියන 1997 ක් ලෙස දෙගුණයකට ආසන්න ගණනකින් වැඩි කළ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“නමුත් 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම ඇස්තමේන්තු කළේ රුපියල් බිලියන 2029 කටය. නමුත් දැන් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1561 යි. එහෙත් දෙසැම්බර් වන විට එය තව රු බිලියන 100 ක් වත් අඩුවෙනවයි කියන්න පුළුවනි. රුපියල්.බි. 500 ක 600 ක අඩුවක් එතකොට තිබෙනවා.

අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2284ක් විදියට පුරෝකථනය කරලා තියෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800ක්, ආදායම් එක පාරටම වැඩි කරගන්නවා කියලද කියන්නේ. කරුණාකර මේ බොරු තක්සේරු නවත්වන්න. ඇත්තට මුහුණ දෙන්න. 40% කින් ආදායම් වැඩිකරන්න මොනවද මේ අයවැයේ තියන යෝජනා. රාජ්‍ය නිලධාරීන් ඉටු කළ නොහැකි වාර්තාවලට අත්සන් කිරීම නොකළ යුතුයි.”

වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා, “ආණ්ඩුවේ ව්‍යාජ තක්සේරුව අනුවත්, අයවැය හිඟය 2022 දී 8%ක් වෙනවා.වෙරිටේ පර්යේෂණ ආයතනය 11% ඉක්මවා යනවා කියලා සදහන් කරනවා. වෙළඳ හිඟය ගැන කතා කළොත් විදේශ සංචිත අර්බුදය තියෙනවා. ආනයනය අඩු කර අපනයනය වැඩි කළ යුතුයි මේ ව්‍යූහාත්මක ප්‍රශ්ණ එකකටවත් අය වැයෙන් විසඳුම් යෝජනා කිසිවක් ඉදිරිපත් කර නොමැත. ඉතින් කොහෙද රටක් ආර්ථිකයක් ශක්තිමත් කරන්නේ.

රාජපක්ෂ පාලනය යනු පවුල් පාලනයක් වන අතර එහිදී රට නංවන වාට වඩා පවුල සංවර්ධනය වන වැඩ පිළිවෙලකුයි ක්‍රියාත්මක කරන්නේ. රාජපක්ෂ පළමු පාලන සමයේ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන සමයේ තමයි, මේ ණය ගැනීම, ණය උගුලක් බවට පත්වුණේ ? කවුද ඒ කාලේ මුදල් ඇමති? ඒ අද ඉන්න අගමැති තුමා. ඒ කාලේ මුදල් අමාත්‍යංශ ලේකම් අද ඉන්න ජනාධිපති ලේකම්. අද ඉන්න බහ බැංකුවේ අධිපතිමයි එදා හිටපු මහ බැංකු අධිපති.

එදා 2007 විදෙස් සංචිත අර්බුදයට ගිය ගමන්, මොකද කලේ ? ස්වෛරීත්ව බැඳුම්කර විකුණුවා. නිවාඩ් කබ්‍රාල් තමයි එදත් මහ බැංකුවේ අධිපති. ඉහළ පොළියකට කෙටි කාලීනව මේවා නිකුත් කෙරුණේ. අදටත් ගෙවන්නේ ඒවා. කොහෙන්හරි අරගෙන, පරතරය පියවන්න උත්සාහ කළා විතරයි. හරියට සූදු අන්තුවන් වගේ.

නමුත්  වැඩ වර්ජන, තර්ජන ගර්ජන, දේශපාලන කුමන්ත්‍රණ, පාස්කු ප්‍රහාර මැද වුණත්,  2019 ආණ්ඩුව බාරදෙනකොට, විදෙස් සංචිත වල ඩොලර් බිලියන, 7.2ක් පමණ තිබුණා. ඔන්න ඊට පස්සේ, ආයෙත් බහින කලාව ආරම්භ වුණා.”

මේ අතර, ආර්ථික හා මූල්‍ය රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා දෙසැම්බර් 09 වෙනිදා පැවසූ ආකාරයට, පසුගිය නොවැම්බර් මාසය වෙන විට රට සතුව තිබූ ශුද්ධ නිල සංචිත ප්‍රමාණය ඩො. බිලියනය 1ක පමණ සාමාන්‍ය අගයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

“මීට වඩා භයානක තත්ත්වයක් රටේ තවත් තිබිය හැකිද ? ඩොලර් බිලියනයකට වඩා අඩුවෙන් විදේශ සංචිත මුදල් තිබෙන ලොව තවත් එකම රටක් හෝ තිබේ නම් එය නම් කරන්නැයි මම ඉල්ලනවා. මේ රට මුහුණ දෙන අර්බුදය එතරම් විශාලයි. අපි එක එක බොරු කියනවයි ආණ්ඩුවේ අය කියනවා. රටක් මෙතනට පත්වුණාම, කවුද අපිට ණය දෙන්නේ ? ණය ගෙවීමට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ කොහොමද ? දැනටමත් බහාලුම් දහස් ගණනක් ණයවර ලිපි වෙනුවෙන් ගෙවීමට බැංකුවලට ඩොලර් නැතිව වරායේ හිරවෙලාය.

අත්තනෝමතික විදිහට පනවපු, ආනයන තහනම නිසා, කුඩා ව්‍යාපාර දහස් ගණනක්, නන්නත්තාර වෙලා. රටේ ලියා පදිංචි ව්‍යාපාර 85,000 පමණ තියෙනවා. එයින් 29,000 වහලා නැතිනම් අඩපණ වෙලාය. දැන් පෞද්ගලික අංශය, වැටෙමින් තිබෙන තැන ඉතාම සෝචනීයයි. පෞද්ගලික අංශයට ඉස්සරහට යන්න බැරි, ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය නිසාය. රට සංවර්ධනය වෙන්න නම්, රැකියා උත්පාදනය වෙන්න නම්, පෞද්ගලික අංශය අවශ්‍යයි. රැකියා අවස්ථා බිහි කළ හැකි වන්නේ පෞද්ගලික අංශයට විතරයි.

2022 ජනවාරි වෙනකොට සල්ලි නෑ. නමුත් ගෙවන්න ණය තියෙනවා. ණය නොගෙව්වොත් රට බංකොලොත් වනවා. එවිට ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් වන්න වෙනවා. 2022 වසර ආරම්භ වන විට මහා අවදානමකට අපි ලංවෙලාය. ඒ නිසා අන්න ඒ ගැන අවධානය යොමුකරන්න කියලා මම මේ ගරු සභාවෙන් ඉල්ලනවා” යනුවෙන්ද ඉරාන් වික්‍රමරත්න මහතා මෙහිදී පවසා තිබේ.

Visits: 37