හේමක අමරසූරිය ජනවාරියේ සිට C. W. Mackie PLC සමාගමේ උප සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත C. W. Mackie PLC සමාගමේ උප සභාපතිවරයා ලෙස හේමක අමරසූරිය මහතා නම් කර ඇතැයි එම සමාගම පවසයි. ලබන 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට මෙම පත් කිරිම සිදු කිරිමට නියමිතව තිබේ. මෙතෙත් කලක් එම සමාගම සතුව උප සභාපති ධුරයක් නොතිබුණි.

හේමක අමරසූරිය මහතා 2011 පෙබරවාරි 22 වැනිදා සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුවූ කළමනාකරණ, කාර්මික, අලෙවිකරණ සහ ව්‍යාපාරික දැනුම ගෙවුණු කාලය තුළදී C. W. Mackie PLC සමාගම වෙත සුවිශේෂී අවස්ථාවන් උදාකරදුන් බවත් එම සමාගම පවසයි.

වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු වන හේමක අමරසූරිය මහතා මීට පෙර සිංගර් සමූහයේ සභාපතිවරයා ලෙස දිගු කාලයක් සේවය කළේය. එසේම රෙග්නිස් ලංකා, නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව මෙන්ම බාටා සපත්තු සමාගමේද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කටයුතු කළේය.

C. W. Mackie PLC සමාගම SUNQUICK, SCAN JUMBO PEANUTS, KOTAGALA KAHATA, SCAN WATER, KELANI VALLEY CANNERIES LTD. (KVC), OCEAN FRESH TUNA සහ “STAR” BRAND යන වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ සන්නාමවල හිමිකරුවා වෙයි.

මීට අමතරව අපනයන වෙළෙඳාම, කාර්මික නිෂ්පාදන, සීනි වෙළෙඳාම, ශීතකරන සහ වායුසමීකරණ ආශ්‍රිත උපාංග සහ නිෂ්පාදන අංශ යනාදී ලෙස ක්ෂේත්‍ර රැසකම C. W. Mackie PLC සමාගම ව්‍යාප්ත වී තිබේ.

වර්තමානයේදී C. W. Mackie PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ ඩබ්ලිව්.ටී. එල්ලාවල (සභාපති/ප්‍රධාන විධායක නිලධාරී), සී.ආර්. රණසිංහ (විධායක අධ්‍යක්ෂිකා), දේශබන්දු එම් ඩී.එස් ජයරත්න (විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ), අනුෂ්මාන් රාජරත්නම් (විධායකනොවන අධ්‍යක්ෂ), එස්.ඩී.ආර්. අරුද්ප්‍රගාසම් (විධායක නොවන අධ්‍යක්ෂ), ටී. සෙන්තිල්වර්ල් (විධායකනොවන අධ්‍යක්ෂ), මංගල පෙරේරා (විධායක අධ්‍යක්ෂ), සංජීව රාජරත්නම් (විධායක නොවන අධ්‍යක්ෂ) සහ හේමක අමරසූරිය (විධායක නොව/ස්වාධීන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

මේ අතර, හේමක අමරසූරිය මහතා තමන් සභාපති ධුරය දැරූ ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජිං සමාගමේ සභාපති ධුරයෙන් මේ වසරේ ජූලි මාසයේදී ඉවත් විය. එසේම ඔහු සැප්තැම්බර් මාසයේදී ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රිස් පීල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන්ද ඉවත් විය.

Visits: 255