විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන් 4කට නියාමන ක්‍රියාමාර්ග

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් සිව් දෙනෙකු වෙත අදාළ විධානයන්ට අනුකූල වන ලෙස දන්වා නිවේදන නිකුත් කරන ලද බව මහ බැංකුව පවසයි.

ඒ අනුවන වෙන්නප්පුව සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයේ පිහිටි නිව් නටාෂා පුද්ගලික සමාගම, වෙන්නප්පුව හලාවත පාරේ පිහිටි ජෝර්ජ් මයිකල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම, කොළඹ 06 ගාලු පාරේ පිහිටි රෝයල් මනි එක්ස්ඡේන්ජ් පුද්ගලික සමාගම සහ ප්‍රසන්න මනි එක්ස්ඡේන්ජ් පුද්ගලික සමාගම යන සමාගම් වෙත මෙලෙස නිවේදන නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින බවත්, ඒ යටතේ පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිදුකළ ස්ථානීය පරීක්ෂා කිරිම්වලදී මෙම සමාගම් හඳුනාගෙන තිබේ.

මෙම නිවේදනය හරහා සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට, අදාල විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් මහ බැංකුව පවසයි.

එසේම බැංකුව විසින් මුදල් හුවමාරුකරුවන් හට ලබා දෙන අනුපාතවලට වඩාවැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව මහජනතාවට තවදුරටත් දන්වා සිටින බවත් මහ බැංකුව අවධාරණය කරයි.

Visits: 307