“අපේ දරුවෝ පොල් වතුර ටික විසිකරලා ‘මොකක්දෝ කූල් එකක්’ බොනවා” – කඩහපොළ මෙඩිකෝ පානය එළිදක්වමින් ඇමති විමල් කියයි

ඇමෙරිකානු සමාජය පවා අද පොල්වතුරවලට පල්ලම් බහිමින් සිටිද්දී, අපේ දරුවන් පොල් වතුර ටික විසිකරලා ‘මොකක්දෝ කූල් එකක්’ බොන තත්ත්වයට පත්ව ඇතැයි කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය එළිදැක්වීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “දැන් මෙතැනදී කියවුණා, අද ලෝකය ආහාර, ඖෂධ හැටියට යොදා ගැනීම ගැනයි සාකච්ඡා වෙන්නේ කියා. ඇත්තෙන්ම අපි ආහාර, ඖෂධ හැටියට භාවිතා කළ ජාතියක්. අපට ලෙඩ හැදුනේ නැත්නම්, හැදුනේ නැත්තේ අපි ඖෂධීය ගුණයෙන් යුත් ආහාර පරිභෝජනය කළ නිසයි. දෙල් කන විට පොල් එකතු කරගත යුතුයි, කියා අපි දන්නවා. යම් ආහාරයක විස නසන දේ කුමක්ද, කියා දන්නවා. ඒ දෙය ආහාරයට එකතු කරගන්නවා. ඒ දැනුම බාධා මැද්දේ හෝ ඉවෙන් වගේ පරපුරෙන් පරපුරට ගලාගෙන ආපු නිසා තමයි අපේ අම්මලා පොල් වතුර ටික බිව්වෙ.

අපේ අම්මලා දැනගෙන සිටියා උදේට පොල් ගෙඩිය බිඳපුවාම එකේ වතුර ටික බොන්න ඕනේ කියා. අපේ අම්මා දැනගන්න ඉන්න නැතිව ඇති, ලෝකයේ තිබෙන හොඳම ශක්තිජනක පානය ඒකයි කියලා. දැනගෙන හිටියත් නැතත් උදේට පොල් ගෙඩිය බිඳපු ගමන් ඒ වතුර ටික අම්මා බීවා. ඒ නිසා පැදුර පෑගෙන්න විතරයි ඕනේ, කියන හොඳ සඵලතාවක් අපේ අම්මලාට තිබුණා. දරුවෝ 10 -.15 වුණත් හදන අම්මලා ඒ කාලේ හිටියා.  

නමුත් දැන් අපේ දරුවෝ පොල් වතුර ටික විසිකරලා ‘මොකක්දෝ කූල් එකක්’ බොනවා. ඇමෙරිකානු සමාජය පවා අද පොල් වතුරවලට පල්ලම් බහිමින් තිබෙන්නේ. යුරෝපය, බටහිර ලෝකයේ සමාජය අද ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වෙමින් තිබෙන්නේ. එම ප්‍රවණතාව අද බලවත් ලෙස වැඩෙමින් තිබෙනවා. මේ වසංගතය ඇතුලේ බැට කන ප්‍රමාණය වැඩි වන විට ඒ අක්මුල් සොයා යෑම හැර වෙන දෙයක් මිනිස් ප්‍රජාවට ඉතිරි වෙන්නේ නැහැ.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මේ හේතු නිසාම කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන අවස්ථාව එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර ලැබ තිබෙන අවස්ථාවක් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“කඩහපොල ආයතනය අපේ ග්‍රාමීය පසුබිමක ගොඩනැගුණු ව්‍යාපාරයක්, තාත්තාගෙන් පසුව දරුවෝ ඒක අරගෙන, නූතන ලෝකයට ගැලපෙන විදියට නව්‍යකරණය කරමින් ඉදිරියට ගෙන යන ව්‍යාපාරයක්. ඒ නිසා මේ කර්මාන්තය අපේ රටේ දේශීය දැනුම් පද්ධතියේ අගය ලෝකයට ප්‍රායෝගිකව බෙදාහරින ආයතනයක් බවට පත් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. මේ කඩහපොල ආයතනයේ අධිපතිතුමන් ඇතුළු පිරිස කරන්නේ මේ පොහොසත් දැනුමට, නූතන ලෝකයට ගැලපෙන විදිහට පණ දෙන එක. එසේ ඔවුන් පණ දෙන්නේ අපේ අතීත පොහොසත් දැනුමේ සාරයට පමණක් නොවෙයි, මේ පින්බිමේ අනාගත ශක්තියටයි. මේ ඖෂධීය පානය, අපේ වෙළඳපොළ පමණක් නොවෙයි අපේ රටින් බැහැර වෙළෙඳපොළ ද අතික්‍රමණය කරන සාර්ථක ජය පානයක්ම වේවා’යි පතනවා.”  යනුවෙන්ද අමාත්‍යවරයා පවසා තිබේ.

Visits: 118