TESS Agro PCL වෙත ආයෝජනය කරන්නේ ස්විස්ටර්ලන්ත IPEK S A සමාගම නොව සයිප්‍රස සමාගමලු

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ දේශීය ටින් මාළු නිෂ්පාදන සමාගමක් වන TESS AGRO PLC සමාගම මගින් මීට පෙර අනාවරණය කළ පෞද්ගලික කොටස් නිකුතුව හරහා සිදුකරන රුපියල් මිලියන 84ක ආයෝජනය සයිප්‍රසයේ පිහිටි IPEK S A Cyprus සමාගම මගින් සිදු කරනු ඇතැයි එම සමාගම පවසයි.

මීට පෙර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකළ අනාවරණයකට අනුව එම ආයෝජනය ස්විස්ටර්ලන්තයේ පිහිටි M/S IPEK S A Switzerland සමාගම මගින් සිදු කිරීමට කැමැත්ත ලැබී ඇතැයි TESS Agro PLC සමාගම පවසා තිබුණි.

කෙසේ වෙතත් M/S IPEK S A Switzerland සමාගමේ මෙන්ම IPEK S A Cyprus සමාගමේද 100%ක හිමිකරුවා වන්නේ ෆාරිට් සාලිකොව් නම් තනි පුද්ගලයෙකු විසින් බවත් එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව සිය ස්විස්ටර්ලන්ත සමාගම හරහා නොව සයිප්‍රසයේ පිහිටි IPEK S A Cyprus සමාගම හරහා මෙම පෞද්ගලික නිකුතුවෙහි කොටස් මිලදී ගැනීමට ඒ මහතා කැමැත්ත පළ කර තිබෙන බව TESS Agro PLC වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙලෙස TESS Agro PLC හි පෞද්ගලික කොටස් නිකුතුවක් හරහා සිදුවන මෙම ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 84ක් (84,000,000ක්) බවද එම සමාගම සඳහන් කරයි. මෙහිදී අදාළ ආයෝජනය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේද අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව TESS AGRO PLC සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් අතරින් මිලියන 168ක් (168,000,000ක්) මේ සඳහා ඉදිරිපත් කරන බව සමාගම  සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි. එහිදී කොටසක් රුපියල් ශත 50කට මිල කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 84කි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදු කළ අනාවරණයට අනුව TESS AGRO PLC සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 407.8 ක් (407,805,528ක්) බව පැවසුණි. එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 339,797,287ක් සහ නිෂ්ඡන්ද කොටස් 50,000,000ක් එහි නියෝජනය වෙන බවත් සමාගම සඳහන් කරයි.

අපනයනය සඳහා වන ටින් මාළු නිෂ්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් ආයෝජනය ලබා ගන්නා බවත් TESS AGRO PLC සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත වැඩිදුරටත් දැනුම් දී සිටියි.

IPEK S A සමාගම බොරතෙල් වෙළෙඳාම, ඉංජිනේරු සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය ඇතුළු විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි. ඉදිරියේදී එම සමූහය ආහාර ආශ්‍රිත කර්මාන්තය සඳහාද යොමුවීමේ අවස්ථාවක් ලෙස මෙම ආයෝජනය සිදු කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.

Visits: 622