වසරේ මුල් මාස 09 දී සම්පත් බැංකුවේ බදු පසු ලාභයෙහි 76.4% ක වර්ධනයක්

COVID 19 වසංගතය තුලින් පැන නැගුණු දීර්ඝ කාලීන අභියෝගයන් හමුවේ වුවද සම්පත් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 සඳහා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන ලද බව පවසයි.

නව උපායමාර්ගික හඳුන්වාදීම් සහ ඉලක්ක පදනම් කර ගත් ව්‍යාපාර සැලසුම් වල ප්‍රතිඵලයක් වශයෙන් සම්පත් බැංකුවට, වසංගතය හේතුවෙන් නිරත්තර වෙනස්වීමට ලක්වන ආර්ථික තත්වයන් සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව බදු පසු ලාභයෙහි 76.4% ක සැලකිය යුතු වර්ධනයක් සඳහා හේතු විය.

ඒ අනුව මෙලෙස 2020 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 76.4% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සම්පත් බැංකුව විසින් සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 8.98 ක් සහ බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 12.32 ක් ලෙස වාර්තා කරන ලදී.

බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2020  වර්ෂයේ වාර්තා කරන ලද අගයට වඩා පදනම් ලකුණු 16 ක වර්ධනයක් සහිතව 3.46% ක් ලෙස මෙම කාලපරිච්ඡේදය තුල වාර්තා කරන ලදී.

බැංකුව විසින් කාලපරිච්ඡේදය තුල ගාස්තු හා කොමිස් ආදායමෙහි 30.9% ක වර්ධනයක් වාර්තා කරන ලද අතර, එය මුලිකවම කාඩ්පත්, විද්‍යුත් මාර්ග සහ වෙළෙඳ කටයුතුවලින් ලද මෙහෙයුම් ආදායම් වලින් සමන්විත වේ.

අක්‍රීය ණය සහ අදියර 3 යටතේ ණය අත්තිකාරම්හි යම් පහතයාමක් සිදු වුවද, කළමනාකාරිත්වය විසින් ගන්නා ලද ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස COVID 19 වසංගතය තුලින් පැන නඟින අවිනිශ්චිතතාවන් තුලින් ඉදිරියේදී ඇති විය හැකි ණය අලාභ සැලකිල්ලට ගනිමින් අතිරේක අපහායන වෙන්කිරීමක් සිදුකරන ලදී.

සම්පත් සමුහය  විසින් ද පවත්නා මුල්‍ය වර්ෂයේ පළමු මාස 09 තුලදී සමුහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 84.6% ක සහ 87.9% සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. සමුහය විසින් පෙර වර්ෂයේ අනුරූපී කාලපරිච්ඡේදයේ වාර්තා කරන ලද බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 7.30 සහ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 5.21 ට සාපේක්ෂව සමාලෝචිත කාලපරිච්ඡේදය තුලදී බදු පෙර ලාභය රුපියල් බිලියන 13.48 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 9.79 ක් ලෙස වාර්තා කරන ලදී.

ආදායම
කාලපරිච්ඡේදය තුල පැවති අවම පොලී අනුපාතික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයක් ලෙස පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා පොලී ආදායමෙහි අඩු වීමක් පෙන්නුම් කරන ලදී. අනෙකුත් සුරැකුම්පත් මත ආයෝඡනය කිරීමෙන් ලද පොලී ආදායමෙහි වැඩි වීම තුලින් පොලී ආදායම මත වූ පීඩනය යම්තාක් දුරකට අවම වුවද, පෙර වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුල වාර්තා කල රුපියල් බිලියන 68 ට වඩා 7% ක අඩුවීමක් සහිතව රුපියල් බිලියන 63.2 ක් ලෙස වාර්තා කරන ලදී. ණය සඳහා වූ ඉල්ලුමෙහි අඩු වීමද, තවදුරටත් පොලී ආදායමෙහි වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපෑමක් ඇති කරන ලදී.

ඡංගම සහ ඉතිරි කිරීම් ගිණුම්වල (CASA) ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 81.5 කින් ඉහළ යන ලදී. මේ සමඟම 2021 පළමු මාස 09 තුල පැවති අවම පොලී අනුපාතයන්හී ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත කාලපරිච්ඡේදය තුල බැංකුවේ පොලී වියදම 20.2% කින් පහළ යන ලදී.

පොලී ආදායමෙහි අඩු වීම, පොලී වියදම පහල යාම තුලින් ආවරණය විය. එම නිසා සමස්තයක් ලෙස ගත් කල පළමු මාස 09 සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2020 වර්ෂයේ එම කාලපරිච්ඡේදයේ වාර්තා කල රුපියල් බිලියන 25.99 ට වඩා 14.2% ක වර්ධනයක් සහිතව 2021 සැප්තැම්බර් 30 දින වන විට රුපියල් බිලියන 29.69 කට ළඟා විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ පොලී ආන්තිකයද (NIM) 2020 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව යම් වර්ධනයක් පෙන්වන ලදී. කෙසේ වෙතත්, 03 වන කාර්තුව අවසාන භාගයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතයන් ඉහළ දැමිමේ ප්‍රතිඵලයක් ලෙස පොලී අනුපාත ඉහළ යාමක් පෙන්නුම් කරන ලදී.

ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමෙහි (NFCI) පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ අගයට සාපේක්ෂව 30.9% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. කාඩ්පත්, වෙළෙඳ සහ විද්‍යුත් මාර්ග තුලින් ලද ආදායම්වලින් මෙම කාණ්ඩය සමන්විත වේ. මාර්ගගත ක්‍රමයට සිදුකරන ලද ගනුදෙනු වල ඉහළ යාමත්, 2021 අප්‍රේල් මස උත්සව සමය තුල සිදු වූ ආර්ථීක කටයුතුවල ඉහළ යාමත්, ගාස්තු හා කොමිස් ආදායමෙහි සිදු වූ වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන ලදී.

මීට අමතරව වෙළෙඳ කටයුතු ආශ්‍රිත කොමිස් ආදායමද මෙම වර්ධනය කෙරෙහි දායක විය.

බැංකුව විසින් කාලපරිච්ඡේදය තුල රුපියල් මිලියන 98 ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කරන ලදී. 2021 පළමු මාස 9 සඳහා මුල්‍ය වත්කම් විකිණීමෙන් ලද ශුද්ධ ආදායම රුපියල් මිලියන 116 ක් විය. එමෙන්ම කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය තුල වාර්තා කල අගයට සාපේක්ෂව 38.3% ක වර්ධනයක් පෙන්වමින් රුපියල් බිලියන 4.29 ක් විය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ 8.2% ක අවප්‍රමාණය තුළින් ඇති වූ උපලබ්ධි වූ විනිමය ආදායමෙහි ඉහළ යාම හේතු විය.

මෙහෙයුම් වියදම්
පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වාර්තා කරන කාල පරිච්ඡේදයේ මුළු මෙහෙයුම් වියදම 11.4% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 16.57 ක අගයක් වාර්තා කරන ලදී. සලකා බලන කාලපරිච්ඡේදය තුල බැංකුවේ සේවක වියදම්වල 13.9% ක වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර ඒ සඳහා වැටුප් වර්ධක සහ අනෙකුත් සේවක වියදම්වල ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. සලකා බලන කාලපරිච්ඡේදය තුල අනෙකුත් වියදම්වලද 6% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. තැන්පතු කළඹෙහි සිදු වූ වර්ධනයත් සමඟ තැන්පතු ආරක්ෂක වාරිකයන්හි ඉහළ යාම  සහ නියාමන ප්‍රතිපාදනයන්හි වෙනස්වීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු විය. එමෙන්ම ආනයන සම්බන්ධ සීමාකිරීම් තුලින් ඇති වූ මිල මට්ටමේ ඉහළ යාමද ඉහත සඳහන් කළ වර්ධනය සඳහා තවදුරටත් හේතු පාදක විය. බැංකුවේ ආදායම් වියදම් අනුපාතය (මුල්‍ය සේවා මත බදු රහිතව) 2020 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ 42.3% සිට 2021 වර්ෂය වන විට 39.6% ක් දක්වා සුළු අගයකින් පහළ යාමත් දක්නට ලැබිණි. මුළු මෙහෙයුම් ආදායමෙහි ඉහළ යාම සහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් පිරිවැය පාලනය කිරීමේ වැඩසටහන්වල ඒකාබද්ධ බලපෑම මෙම අඩුවීම සඳහා හේතු විය.

අපහායනය
සලකා බලන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ අපහායන අයකිරීම 2020 අනුරූප කාලපරිච්ඡේදය තුල වාර්තා කළ අගයට වඩා 11.4% ක යම් අඩුවීමක් පෙන්නුම් කල අතර එය 2021 සැප්තැම්බර් 30 දිනට රුපියල් බිලියන 9.8 ක් දක්වා ළඟා විය. සාර්ව ආර්ථික පරිසරය තුල දේශීයව සහ විදේශීයව අඛණ්ඩව ඇතිවන අභියෝගයන් හා සහනශීලි ප්‍රතිපත්තීන් ලිහිල් කිරීමෙන් පසු ඇතිවිය හැකි දිගුකාලීන බලපෑමත් සැලකිල්ලට ගනිමින් බැංකුව විසින් සැලකිය යුතු අපහායන වෙන්කිරීමක් සිදුකරන ලදී. තවදුරටත් එන්නත්කරණ වැඩපිලිවෙළ තුලින් ඇති වියහැකි සාර්ථකත්වයත්, බලපෑමට ලක් වූ කර්මාන්ත තුල යළි ඇතිවිය හැකි ආර්ථික පුනරුදයත් සමඟ COVID 19 වසංගතයේ බලපෑම පිළිබඳව බැංකුව විසින් අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරනු ලබයි.

සලකා බලන කාලපරිච්ඡේදය තුල බැංකුව විසින් ණය කළඹෙහි ණය අවදානම පිළිබඳ නැවත තක්සේරු කිරීමක් සිදුකරන ලදී. මෙම තක්සේරු කිරීම මත පදනම්ව, වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක් වු ව්‍යාපාරවල නියුතු ගනුදෙනුකරුවන්, අදියර 2 යටතේ නැවත වර්ගීකරණය කිරීමට පියවර ගන්නා ලදී. ණය අයකර ගැනීම පමා කිරීමේ ක්‍රමවේදයට යටත් ගනුදෙනුකරුවන් සඳහා ඉදිරියේදී සිදුවිය හැකි බලපෑම්ද සැලකිල්ලට ගනිමින් සුදුසු ගැලපුම් භාවිතා කරමින් අපහායන ප්‍රතිපාදන ගණනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 වර්ෂය අවසානයේ වාර්තා කළ අගයට වඩා සලකා බලන කාලපරිච්ඡේදය තුල අදියර 1 සහ අදියර 2 ණය අත්තිකාරම් සඳහා සමුච්චිත අපහායන ප්‍රතිපාදන වෙන් කිරීම පිලිවෙළින් රුපියල් බිලියන 1.6 කින් සහ රුපියල් බිලියන 7 කින් ඉහළ දමන ලදී.

කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල COVID 19 වසංගතය සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය සැලකිල්ලට ගනිමින් 2020 වර්ෂය තුල සැලකිය යුතු ඉහළ අපහායන ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුකරන ලදී. ඒ හේතුවෙන් මෙම වර්ෂය තුල එතරම් ඉහළ අපහායන ප්‍රතිපාදන වෙන් කිරීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර, පෙර වර්ෂයට සාපේක්ෂව 11% කින් අපහායන වියදම් පහළ යාමක් වාර්තා විය.

සාර්ව ආර්ථීක තත්වයන්හි ස්වරූපය මනාව පිළිබිඹු වන පරිදි බැංකුව විසින් ආර්ථීක සාධක ගැළපුම් ආකෘතිය තවදුරටත් වැඩි දියුණු කරමින් විදේශ ව්‍යවහාර මුදල් පදනම් කර ගත් රජයේ සුරැකුම්පත් සඳහා වූ අපහායන ප්‍රතිපාදන ඉහළ දමන ලදී.

ප්‍රාග්ධන අනුපාතයන් සහ අවශ්‍යතාවන්
තුන්වන කාර්තුව අවසාන වනවිට බැංකුවේ සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළින් පැවතිණ. බැංකුවේ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය (CETI), පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ මුළු ප්‍රාග්ධන අනුපාතය පිලිවෙලින් 2020 වර්ෂයේ වාර්තා කළ 13.44%, 13.44% සහ 16.41% ට සාපේක්ෂව 12.32%,12.32% සහ 15.56% ක් ලෙස වාර්තා කරන ලදී. මුළු ප්‍රාග්ධන අනුපාතයෙහි වෙනස් වීම කෙරෙහි අවදානම මත බරතබන ලද මුළු වත්කම්වල ඉහළ යාමත් 2020 වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමත් ප්‍රධාන වශයෙන්ම හේතුවිය. බැංකුව ඉහත සඳහන් කළ ප්‍රාග්ධන අනුපාතයන් ගණනය කිරීමේදි කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය සැලකිල්ලට නොගන්නා ලදී. බැංකුව විසින් කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය ගණනය කිරීම් සඳහා යොදා ගත්තේනම්, මෙම අනුපාතයන්හි අගය ඉහළ යනු ඇත.

බැංකුව විසින් 2021 වර්ෂයේදී බාසල් III අනුකූල, ලැයිස්තුගත, ශේණිගත, ඇප සුරැකුම් රහිත, ද්විතීයික, නිදහස් කල හැකි, කොටස් බවට පරිවර්තනය කිරීමේ විකල්පය සහිත අවුරුදු 7 කින් කල් පිරෙන ණයකර නිකුතුවක් මඟින් රුපියල් බිලියන 6 ක දෙවන පෙළ ප්‍රාග්ධනයක් රැස්කර ගන්නා ලදී. 2021 අප්‍රේල් මස සාර්ථක ලෙස සිදුකරන ලද මෙම ණයකර නිකුතුව මඟින් ප්‍රාග්ධන අනුපාතයන් අඩු වීම කෙරෙහි ඉහත සඳහන් කළ සාධකවල බලපෑම, යම් ප්‍රමාණයකට ආවරණය විය.

ප්‍රධාන අනුපාතයන්
බදු පසු ලාභයෙහි වාර්තා වූ වර්ධනය හේතු කොට ගෙන සාමාන්‍ය කොටස් හිමියන්ගේ ස්කන්ධය මත ඉපයිම් අනුපාතය (ROE) 2020 වර්ෂය අවසානයේ වාර්තාකල 7.58% සාපේක්ෂව පදනම් ලකුණු 318 ක වර්ධනයක් සහිතව 2021 සැප්තැම්බර් 30 දිනට 10.76% ක් විය. සාමාන්‍ය වත්කම් මත ඉපයුම් අනුපාතය ද (ROA) 2020 වර්ෂයේ වාර්තා කළ 1.09% සාපේක්ෂව 2021 සැප්තැම්බර් 30 දිනට 1.42% දක්වා වර්ධනය විය.

තැන්පතු සහ අත්තිකාරම්
සලකා බලන කාලපරිච්ඡේදය තුල ශුද්ධ ණය සහ අත්තිකාරම් අගය 2020 වර්ෂය අවසානයේ වාර්තා කළ බිලියන 759 ට සාපේක්ෂව බැංකුවේ දල ණය අත්තිකාරම් කළඹ 2021 සැප්තැම්බර් මාසය වන විට රුපියල් බිලියන 807 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් සම්පත් බැංකුවේ මුළු වත්කම් පදනම පසුගිය වර්ෂය අවසානයේ වාර්තා කළ රුපියල් ටි්‍රලියන 1.11 සිට 2021 සැප්තැම්බර් 30 දින විට රුපියල් ටි්‍රලියන 1.18 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, 2020 වර්ෂය අවසානයේ වාර්තා කල අගයට වඩා 10.86% කින් (වාර්ෂික) බැංකුවේ තැන්පතු පදනම වැඩි වී ඇත. බැංකුවේ මුළු තැන්පතු පදනම 2020 වර්ෂය අවසානයේ වාර්තා කළ රුපියල් බිලියන 887 ට සාපේක්ෂව 2021 සැප්තැම්බර් 30 දින වන විට රුපියල් බිලියන 959 කට ළඟා වී ඇත.

Visits: 744