MYLAND Developments මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කෙරුණු MYLAND Developments (පෞද්) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට අධි දායකත්වයක් හිමිව ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව සමාගම මගින් මෙම නිකුතුව හරහා ඉදිරිපත් කෙරුණු එහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 6,250,000 සඳහාම ඉල්ලුම් පත්‍ර හිමි වූ බව එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව අද පස්වරු 4.30ට අවසන් කිරීමට තීරණය කර ඇති බවත්, ඒ දක්වා ඉදිරිපත් වන ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සිදු කරන බවත් MYLAND Developments (පෞද්) සමාගම පවසයි.

මෙම නිකුතුව යටතේ මයිලෑන්ඩ් ඩිවලොප්මන්ට් ලිමිටඩ් සමාගම මගින් සිය නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 6,250,000ක් නිකුත් කිරීම සිදුවිය. එහිදී එක් කොටසක් රුපියල් 12ක් බැගින් මිල කෙරුණු අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 75ක් (75,000,000ක්) විය.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට මෙම මූලික කොටස් නිකුතුවෙන් අනතුරුව MYLAND Developments (පෞද්) සමාගම එහි දිරි සවි පුවරුවෙහි හෝ Empower පුවරුවෙහි ලැයිස්තුගත වීමට නියමිතව ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි මූල්‍යමය උපදේශක සහ කළමනාකරු ලෙස Atarah Capital Partners (Pvt) Ltd කටයුතු කර තිබේ.

Visits: 199