රේනුකා සමූහයේ අධ්‍යක්ෂ ෂමීන්දු රාජියාහ් ගාර්ඩියන් කැපිටල් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ගාර්ඩියන් කැපිටල් පීඑල්සී (WAPO.N0000)  සමාගමෙහි නව සභාපතිවරයා ලෙස ෂමීන්දු රාජියාහ් මහතා පත් කරගත් බව එම සමාගම නිවේදනය කරයි. පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට මෙම නව පත් වීම සිදුව තිබේ.

කාර්සන්ස් කුම්බර්බැච් සමූහයට අයත්ව තිබූ ගාර්ඩියන් කැපිටල් පීඑල්සී සමාගමෙහි හිමිකාරීත්වය අත්පත් කරගැනීමට රේනුකා සමූහයට අයත් ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම කටයුතු යෙදීමත් සමගින්ම ෂමීන්ද්‍ර මහතා මෙලෙස එහි විධායක අධ්‍යක්ෂ/සභාපති ධුරය සඳහා පත්වී තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ෂමීන්ද්‍ර රාජියාහ් මහතා සතුව ගාර්ඩියන් කැපිටල් පීඑල්සීහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 3,130,000ක් (බී.ඒ. රාජියාහ් සමගින් ඒකාබද්ධව) පැවැති බවත් සඳහන් වෙයි.

ගාර්ඩියන් කැපිටල්හි නව සභාපති ෂමීන්ද්‍ර රාජියාහ් මහතා අද වනවිට රේනාකු හෝල්ඩිංග්ස් පීඑල්සීහි, රේනුකා ෆුඩ්ස් පීඑල්සී, ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ්, රිච්ලයිෆ් ඩේරීස් ලිමිටඩ් යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එසේම රේනුකා සමූහයේ අධ්‍යක්ෂවරයාද වෙයි. මීට අමතරව ෂෝ වොලස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගමේ විධායක සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

මේ අතරම එම දිනයේ සිට පටන් ක්‍රියාත්මක වන පරිදි ගාර්ඩියන් කැපිටල් සමාගම සඳහා අලුතින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුද පත්කෙරී තිබේ. ඒ අනුව පාලිත ගුණතිලක (විධායක අධ්‍යක්ෂ), මාරියෝ සුරේෂ් ඩොමිනික් (විධායක නොවන/ස්වාධීන අධ්‍යක්ෂ), බ්‍රයන් සෙල්වනායගම් (විධායන නොවන/ස්වාධීන අධ්‍යක්ෂ) යන මහහත්වරුන් මෙලෙස පත් කෙරී ඇත. මෙහිදී එම මහත්වරුන් සතුව ගාර්ඩියන් කැපිටල් පීඑල්සීහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් පැවසෙයි.

ෂෝවොලස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මීට පෙර රේනුකා කැපිටල් පීඑල්සී (KZOO.N0000) ලෙසින් හැඳින්වුණි. පසුගිය ඔක්තෝබර් මාසය මුලදී එම නම් වෙනස් කිරීම සිදුවිය.

එසේම ඔක්තෝබර් මාසය අගදී රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී (RHL.N0000) සමාගමට අයත් සමාගම් දෙකක් සහ එහි හිමිකරුවන් වන රාජියාහ් පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු විසින් කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමූහයට අයත් ගාර්ඩියන් කැපිටල් පාර්ට්නර්ස් පීඑල්සී (WAPO.N0000) සමාගමෙහි 83.97%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු විය. එසේම පසුගිය නොවැම්බර් මාසයේදී ගාර්ඩියන් කැපිටල් පීඑල්සී සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණයත් තමන් යටතට පත් කරගැනීමට රේනුකා සමූහයට අයත් ෂෝවොලස් ඇන්ඩ් හෙජස් සමාගම කටයුතු යෙදීය.

Visits: 1084