පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලයට RO යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සිය මනුමෙහෙවර ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් [Reverse Osmosis (RO) plant] පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව පවසයි.
මෙම ප්‍රදේශයේ ජනතාව අලි මිනිස් ගැටුම නිසා බෙහෙවින් පීඩාවට පත්වී සිටින අතර, පිරිසිදු පානීය ජලය හිඟ වීම හේතුවෙන් ප්‍රදේශයේ වකුගඩු රෝගීන් වාර්තා වීමද ඉහළ ගොස් තිබේ.

ජලයට මිශ්‍ර වී ඇති රෝගකාරක පෙරා ඉවත් කිරීමට RO යන්ත්‍ර වලට හැකියාව ඇති අතර, එම නිසා ගාමිණී විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාවටද මින් ඉදිරියට තම පානීය ජල අවශ්‍යතාවන් සපුරා ගැනීම වඩාත් පහසු වනු ඇත.

මේ වනවිට මෙම ප්‍රදේශයේ ජනතාව ජලය ලීටරයක් සඳහා රු. 2 ත් 5 ත් අතර මුදලක් ගෙවති. නියඟය නිසා තම කෘෂිකාර්මික කටයුතු වලට පමණක් නොව එදිනෙදා පරිභෝජනයට පවා ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් නිතර පීඩා විඳින මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම RO යන්ත්‍රය වටිනා ජල මූලාශ්‍රයක් වනු නොඅනුමාන ය.

1952 වර්ෂයේදී ආරම්භ වූ ගාමිණී විද්‍යාලයේ මේ වනවිට ගුරුවරුන් හා ගුරුවරියන් 20 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර, එහි 1 සිට 11 දක්වා ශ්‍රේණිවල සිසු සිසුවියන් 136 දෙනෙක් ඉගෙනුම ලබති. මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පාසලේ විදුහල්පතිනිය වන සඳමාලි මහත්මිය සහ කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ නේත්‍රාංජන මහතා කියා සිටියේ, මෙය පාසල් සිසුන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද විශාල යහපතක් සැලසෙන පියවරක් බවයි.

පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලද්දේ, රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලද ඉල්ලීමක් ඉටුකිරීමේ උත්සාහයක තවත් එක් පියවරක් වශයෙනි. මෙම පරිත්‍යාගය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 3 වන ඉලක්කය (නිරෝගී බව හා යහපැවැත්ම) සහ 6 වන ඉලක්කය (පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව) සාක්ෂාත් කරගැනීමේ දීර්ඝකාලීන උත්සාහයට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක. පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය වන ‘මනුමෙහෙවර’ යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ජලය පිරිපහදු කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා වන RO තාක්ෂණය තුළදී, අර්ධ පාරගම්‍ය පටලයක් හරහා පීඩනයක් යටතේ ජලය යොමුකරවීම තුළින් ජලයේ අඩංගු අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු වේ. මෙම පටලය මගින් අපවිත්‍රකාරක අණු වෙන්කර රඳවා ගන්නා අතර, පිරිසිදු ජල අණු වලට පමණක් ඒ හරහා ගමන් කිරීමට ඉඩකඩ සලසයි. මෙම යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ ඉංජිනේරුවන් විසිනි.

මෙම යන්ත්‍ර මගින් ජලය පිරිසිදු කිරීමේදී, සෑම ලීටර් විස්සකටම ලීටර් 8 ක් පානීය අවශ්‍යතා සඳහා වෙන්කෙරෙන අතර, ලීටර් 12 ක් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා වෙන්කෙරෙන බව නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ගමගේ මහතා පැවසී ය. නළ ළිඳකින් ලබාගන්නා ජලය පිරිපහදු කිරීමට ලක්කර, ලීටර් 5,000 ක ධාරිතාවකින් යුත් ටැංකියක ගබඩා කෙරේ. කුඩාවිලච්චිය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා, පාසල් පරිශ්‍රයෙන් පිටත ජල කරාම 3 ක් සවිකිරීමටද මෙම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන ඇත.

“අත්වැලක් අවශ්‍ය පුද්ගලයන්ට එම අත්වැල ලබාදීම අරමුණු කරගත් අපගේ ආයතනික ප්‍රජා සත්කාර සන්නාමය වන ‘මනුමෙහෙවර’ මේ වනවිට සැබැවින්ම මානව හිතවාදී ව්‍යාපෘතියක් වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. සෑම මනුෂ්‍යයෙකුගේම දෛවය හා පරමාර්ථය වන්නේ එකිනෙකාගේ යහපත වෙනුවෙන් කැපවීම බව අප දැඩිව විශ්වාස කරන දෙයක්. මෙය අපගේ මෙහෙවරේ ආරම්භය පමණයි. ඉදිරියේදී සමාජයේ යහපත වෙනුවෙන් තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට අප සැලසුම් කර තිබෙනවා.” පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගිහාන් පෙරේරා මහතා පැවසී ය.

Visits: 30