නොවැම්බරයේදී සංචාරක පැමිණීම් 44,294ක් වෙයි

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව 44,294ක් ලෙස සටහන්ව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසර තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය ලෙසින්ද මෙය සැලකෙයි. ඊට පෙර ඔක්තෝබර් මාසයේදී සංචාරකයන් 22,771 දෙනෙකුද මෙරට පැමිණ තිබේ.

මෙම නොවැම්බර් මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ආසියා පැසිපික් කලාපයෙනි. එය 21,623ක් වන අතර සමස්තයෙන් 48.8%ක ප්‍රතිශතයකි. එසේම යුරෝපා කලාපයෙන් සංචාරකයන් 18,545ක් පැමිණ ඇති අතර එය 41.9%ක ප්‍රතිශතයකි. එසේම ඇමෙරිකානු කලාපයෙන් සංචාරකයන් 2,489 දෙනෙකු පැමිණ තිබෙන අතර එය 5.6%ක ප්‍රතිශතයකි. මීට අමතරව මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයෙන් පිළිවෙලින් සංචාරකයන් 1,408ක් සහ 229ක් පැමිණ ඇති ඇතර, එය ප්‍රතිශතයන් ලෙස 3.2%ක් සහ 0.5%කි.

මේ අතර 2021 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 104,989ක් ලෙස සටහන්ව තිබේ. එය 2020 වසරේ එම කාලසීමාවේදී පැමිණි 507,311ක් වන සංචාරකයන් හා සැසඳීමේදී 73.9%ක පහත වැටීමකි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය මෙන්ම, වසංගත තත්ත්වය හමුවේ කඩා වැටුණු මෙරට සංචාරක පැමිණීම් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා බිංදුවෙන් පටන්ගෙන සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී ජනවාරි 1,682ක්, පෙබරවාරි 3,366ක්, මාර්තු 4,581ක්, අප්‍රේල් 4,168ක්, මැයි 1,497ක්, ජූනි 1,614ක්, ජූලි 2,429ක්, අගෝස්තු 5,040ක්, සැප්තැම්බර් 13,547ක් සහ ඔක්තෝබර් 22,771ක් ලෙස මෙම සංචාරක පැමිණීම් වර්ධනය වී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී රටවල් ලෙස මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 14‍්,236කි. එසේම එක්සත් රාජධානියෙන් 3,770ක් සහ රුසියාවෙන් 3,520ක් පැමිණ තිබේ. මීට අමතරව ජර්මනියෙන්ම සංචාරකයන් 2,667ක් පැමිණ ඇත. ප්‍රංශය, එක්සත් ජනපදය සහ කැනඩාවෙන් පිළිවෙලින් සංචාරකයන් 1,447ක්, 1,178ක් සහ 1,161ක් ලෙස සංචාරකයන් පැමිණ තිබේ.

Visits: 63