INSEE මෙරට සිමෙන්ති හිඟය විසඳීමට දිවයින පුරා සිය සැපයුම් දාමයන් ශක්තිමත් කරයි

මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවම කරගැනීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවන් උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර, දිවයින පුරා සිය සැපයුම් දාමයන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට සහ කාර්‍යක්ෂම කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගනු ලැබූ බව පවසයි.

සිමෙන්ති හිඟය ආරම්භයේ දී ක්ෂණිකව ක්‍රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම සිය සමස්ත නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් පවත්වා ගනිමින්, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීම සඳහා කටයුතු කළ අතර, ඒ අනුව එම සමාගම 2021වසරේ 3න් වන කාර්තුව තුළ දී මෙට්‍රික් ටොන් 700,000 ක ඉහළ නිෂ්පාදනයක් වාර්තා කිරීමට සමත් විය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා විදියට, පශ්චාත් කොවිඩ් සමය තුළ නැවතත් ගොඩනැගෙමින් පවතින දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්තමාන සිමෙන්ති හිඟය නිසා අර්බුදයට ලක්වීම නැවැත්වීමේ වගකීම සහ අභියෝගය INSEE සිමෙන්ති භාර ගත්තා.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා අදහස් දක්වමින් පැවසුවේ ය.

මෙහි දී මෙරට සිමෙන්ති වෙළෙඳපොළ ස්ථාවර කිරීමේ පළමු පියවර ලෙස රජයේ රෙගුලාසි සහ ප්‍රතිපත්තිවලට පූර්ණ සහයෝගය ලබා දෙමින් දිවයින පුරා අඛණ්ඩ සිමෙන්ති සැපයුම ස්ථාවර කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ දීප ව්‍යප්ත බෙදාහැරීමේ සහ අලෙවි නියෝජිත ජාලය යෙදවීමට හැකි වූ බවත්, සිය පාරිභෝගිකයින් INSEE සිමෙන්ති කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ඔවුන්ගේ ඉවසීමේ ගුණය මෙම අභියෝගය ජය ගැනීම සඳහා තම සමාගමට ශක්තිය ලබා දුන් බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේ ය.

සිය ගාල්ල කර්මාන්තශාලාව මගින් මෙට්‍රික් ටොන් 1.5 ක හා පුත්තලම කර්මාන්තශාලාව මගින් මෙට්‍රික් ටොන් 1.3 ක නිෂ්පාදන ධාරිතාවක් මෙන් ම කොළඹ පිහිටි සිමෙන්ති පර්යන්තයේ මෙට්‍රික් ටොන් 0.8 ක ආනයන ධාරිතාවක් වශයෙන් මෙට්‍රික් ටොන් 3.6 ක උපරිම ධාරිතාවකින් යුක්තව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම වර්තමානයේ රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කිරීම සඳහා සිය නිෂ්පාදන හා බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් අමතර ආනයන යාත්‍රා දෙකක් සිය සැපයුම් ක්‍රියාවලියට එක් කර ඇත.

Visits: 167