BIL වෙතින් කොළඹ පෝර්ට් සිටිය තුළ ඩො. මිලියන 200ක ආයෝජන

LOLC සමූහයට අයත් උපාය මාර්ගික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (BIL) සමාගම මේ වනවිට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති තුනක් සඳහා වන ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සමස්ත ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

එම සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ මේ දක්වා සිදු කර ඇති ආයෝජන සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුවත් කරමින් මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව මේ සමස්ත ආයෝජන වටිනාකම අතරින් එක්සත් ජනපද ඩොලර් මිලියන 114ක මුදලක්, ආසන්න වශයෙන් රුපියල් බිලියන 23.25ක මුදලක් දැනටමත් එම සමාගම විසින් කොළඹ වරාය නගර කොමිසම වෙත ගෙවා ඇතැයිද මෙහිදී සඳහන් වෙයි.

පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් හෙළිදරව් කරන ලද, කොළඹ පෝර්ට් සිටියෙහි ඉදි කෙරෙන කොළඹ ජාත්‍යන්තර වාණිජ මධ්‍යස්ථානයේ (Colombo International Financial Centre) පළමු අදියර සඳහා යොදවන ආයෝජනයද ඇතුළත්ව මෙම නව ආයෝජන සිදු කෙරෙන බව එම සමාගම පවසයි.

ඒ අනුව 2021 දෙසැම්බර් 02 වැනිදා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගම් හරහා කොළඹ පෝර්ට් සිටියේ ආර්ථික කොමිසම හා ඇති කරගත් එකඟතාවකට අනුව එම වරාය නගරයෙහි සිදුකරන ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා හඳුනාගත් ඉඩම් කිහිපයක් වෙත 99 අවුරුදු බද්දක් යටතේ අත්පත් කරගැනීමට මෙලෙස මුදල් ආයෝජනය කර ඇතැයි මෙහිදී සමාගම මගින් අනාවරණය කර තිබේ.

මෙම සඳහන් කිරීමට අනුව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Finance Centre) වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 102 කි. එහිදී සිය පරිපාලිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම යටතේ වර්ග මීටර් 30,630ක භූමියක් වෙනුවෙන් එම සමාගම මෙම ආයෝජනය සිදු කර තිබේ. පසුගිය දෙසැම්බර් 02 වැනිදා වන විට ඉන් ඩොලර් මිලියන 42ක මුදලක් අදාළ සමාගම මගින් ගෙවා තිබේ.

එසේම කොළඹ යාත්‍රා අංගණය (Clombo Marina Development) සඳහාද සමාගම ඩොලර් මිලියන 55ක ආයෝජනයක් සිදු කර ඇති අතර, එහිදී සිය පරිපාලිත සමාගමක් වන කලම්බු මරීනා ඩිවලොප්මන්ට් (පෞද්) සමාගම වෙත වර්ග මීටර් 30,776 ක භූමියක් අත්පත් කරගැනීම සිදුව තිබේ. මෙහිදී එම සම්පූර්ණ වටිනාකමම ගෙවා නිම කිරීමට සමාගම කටයුතු යොදා ඇත.

මීට අමතරව පෝර්ට් සිටි මරිනා හොටෙල් ඩිවලොප්මන්ට් (Port City Marina Hotel Development) ලෙස තවත් ව්‍යාපෘතියක් වෙනුවෙන්ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම ඩොලර් මිලියන 43ක මුදලක් ආයෝජනය කර තිබේ. එහිදී මරිනා හොටෙල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම යටතේ මෙම ආයෝජනය සිදු කර ඇති අතර, එහිදී 99 අවුරුදු බද්දක් සඳහා ලබා ගෙන ඇති භූමිය වර්ග මීටර් 13,006කි. පසුගිය දෙසැම්බර් 02 වැනිදා වන විට ඉන් ඩොලර් මිලියන 17ක මුදලක් අදාළ සමාගම මගින් ගෙවා තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘති තුන සඳහාම බ්‍රවුන්ස්ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 200 කි. ඒ හරහා කොළඹ පෝර්ට් සිටියේ වර්ග මීටර් 74,412ක භූමියක් ව්‍යාපෘති සඳහා අත්පත් කරගැනීම සැලසුම වී තිබේ. මෙහිදී අදාළ වටිනාකමෙන් ඩොලර් මිලියන 114ක මුදලක් එම සමාගම විසින් මේ දක්වා ගෙවා තිබේ.

එසේම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සඳහා ගෙවීමට ඇති ඉතිරි ඩොලර් මිලියන 60 වසරක් ඇතුළතදී ගෙවා දැමීමටත්, පෝර්ට් සිටි මරිනා හොටෙල් ඩිවලොප්මන්ට් ව්‍යාපෘතිය සඳහා වන ඉතිරි ඩොලර් මිලියන 26ක මුදලක 2022 සහ 2023 වසරවලදී වාරික දෙකක් ලෙස ගෙවා දැමීමටත් සමාගම සැලසුම් කර ඇතැයි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 3812