24 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී ඇල්ෆා ඇපරල්ස් සමාගමට සම්මානයක්

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2019/20 වර්ෂය සඳහා මධ්‍යම කාණ්ඩයේ හොඳම අපනයනකරු-ඇඟලුම් සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම පසුගියදා සමත් වූ බව පවසයි.

ඇල්ෆා ඇපරල්ස් යනු ඉතාලියේ Calzedonia S.p.A ව්‍යාපාර සමූහයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදනායතනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් BMICH හිදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී, රටේ අපනයනය අංශයට සහ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් සපයන සමාගම් රැසක් ගෞරව බුහුමානයට පාත්‍ර විය.

පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටා ඇති ඇල්ෆා ඇපරල්ස් සමාගමේ 2,200කට වැඩි සේවක පිරිසක් සේවයේ නියුතුව සිටින අතර, සමස්තයක් ලෙස ඔමේගා ලයින් සමූහය තුළ සේවය කරන සහ ජීවනෝපාය සලසාගන්නා පිරිස 13,000 ඉක්මවයි. දශක දෙකකට අධික කාලයක් තුළ ඇඟලුම් කර්මාන්තය මගින් රටට විදෙස් විනිමය ඉපැයීමට විශාල දායකත්වයක් සලසන ඔමේගා ලයින් සමූහය, ක්‍රමෝපායික සැලැස්මකට අනුව දිවයින පුරා විවිධ ස්ථානවල තම කර්මාන්තශාලා පවත්වාගෙන යමින්, සාමුහික ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට අවකාශ උදා කර දී ඇත.

″මෙම ජයග්‍රහණයේ නිසි ගෞරවය හිමි විය යුත්තේ, මෙවැනි දුෂ්කර සහ අභියෝගකාරී කාලපරිච්ඡේදයකදී පවා අඛණ්ඩ කැපවීමෙන් හා අවබෝධයෙන් යුතුව ක්‍රියාකරන අපගේ සාමාජික සාමාජිකාවන්ටයි. ව්‍යාපාර සමූහයක් ලෙස අපි වඩාත් ශක්තිමත්ව නැඟිසිටින්නට සමත්ව සිටිනවා. ඒ් වගේම ඇඟලුම් කර්මාන්ත අංශයේ කැපීපෙනෙන සමාගමක් ලෙස අපගේ මෙහෙයුම් සහ තත්ත්වය ඉහළ නංවා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් සිරියෝ ලිමිටඩ් සහ ඇල්ෆා ඇපරල්ස් සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ මෙන්ම, ඔමේගා ලයින් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

සියලු සේවකයින්ට ඉගෙනුම් හා සංවර්ධන අවස්ථා පිරිනමන උසස් ආයතන සංස්කෘතියක් පවත්වාගෙන යන ඇල්ෆා ඇපරල්ස් ආයතනය, මානසික පීඩනයෙන් තොරව රැකියා ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාවයෙන් කටයුතු කළ හැකි වටපිටාවක් ද ගොඩනංවා තිබේ. එනිසාම බොහෝ සේවකයින් ආයතන පරිශ්‍රය හඳුන්වන්නේ ද සිය දෙවැනි නිවහන යනුවෙනි. තවද, වෘත්තීය මාර්ගෝපදේශනය, මනෝ උපදේශන සේවා, මෘදු කුසලතා පුහුණුව හා වෘත්තීය සංවර්ධන අවස්ථා ආදී බොහෝ ප්‍රතිලාභ සේවකයින්ට හිමිවේ.

සේවකයින් අරභයා සමාගම ගෙනයන සුහද පිළිවෙත පිටත සමාජය කරා ද පතුරුවමින්, ‘හසරැල්ලක් සොයා‘ (ළමා නිවාසවල සිටින කුඩා දරුවන්ට සහ වැඩිහිටි නිවාස සඳහාඋපකාර කිරීමේ ව්‍යාපෘතියකි), ‘මිහිකතට තුරු සෙවණක්‘(සොබා සංරක්ෂණ ව්‍යාපෘතියකි) වැනි ආයතනික සමාජ සත්කාර වැඩසටහන් පවා ඇල්ෆා ඇපරල්ස් ආයතනය මගින් මෙහෙයවනු ලැබේ.

ආයතන සමූහයේ මව් සමාගම වන Calzedonia Finanziaria පිහිටා ඇත්තේ ලක්සම්බර්ග්හි වන අතර, එහි ප්‍රධාන සේවාදායකයා වන Calzedonia සමාගම ඉතාලියේ පිහිටා තිබේ. Calzedonia S.p.A සමාගම යටතේ කාන්තා යට ඇඳුම්, ස්ටොකින්ග්ස්, රාත්‍රී ඇඳුම්, මේස් සහ පිහිනුම් ඇඳුම් ආදිය නිපදවනු ලැබේ. Calzedonia, Intimissimi, Tezenis, Falconeri, IntimissimiUomo, සහ Atelier Eme ආදී ලොව සුපතල සන්නාම යටතේ ලොව පුරා රටවල් 57කට වැඩි සංඛ්‍යාවක වෙළඳසැල් 5,000කට අධික ප්‍රමාණයක මෙම නිෂ්පාදන අලෙවි කෙරේ.

ව්‍යාපාර සමූහය සතු සෙසු දේශීය සමාගම් වන ඔමේගා ලයින් ලිමිටඩ්, සිරියෝ ලිමිටඩ්, බෙන්ජි ලිමිටඩ් සහ වවුනියා ඇපරල්ස් වැනි සමාගම්වලට ද මීට ඉහත සම්මාන හිමිව තිබේ. ඒ අනුව, 2018/2019 ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී, ඇඟලුම් අංශයේ කුසලතා සම්මානයක් දිනාගැනීමට සිරියෝ ලිමිටඩ් සමත්වූ අතර, ඔමේගා ලයින් ලිමිටඩ් ද 2017/18 ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී වැඩිම අගය එකතු කළ අපනයනකරු – ඇඟලුම් අංශය සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට පෙර වසරේදී ඇඟලුම් වෙළඳ අංශයේ අපනයන විශිෂ්ටතා සම්මානය දිනාගැනීමට ද ඔමේගා ලයින් ලිමිටඩ් සමත්විය.

Visits: 68