තමන් පවත්වාගෙන ගිය සේව්‍ය-සේවක සබඳතාව ගැන නිමල් පෙරේරාගෙන් අනාවරණයක්

තමා ලැයිස්තුගත සමාගම් කිහිපයකම කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී තමන් සහ සේවකයන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යාමට කටයුතු කළ බව මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් නිමල් පෙරේරා මහතා මේ බව පවසා තිබේ.

එහිදී මූලිකවම එම සමාගම්වල සියලුම සේවකයන්ට සිය කාර්යාලයේ දොර සැමවිටම විවෘතව තැබූ බවත්, ඕනෑම අවස්ථාවකදී සිය ජංගම දුරකතනයට ඇමතීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන් බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත. ඒ හරහා තමන් සහ සේවකයන් අතර කටයුතු කිරීමේදී කිසිදු ගැටලුවක් මතු නොවුණු බවත් ඔහු මතක් කර දී සිටියි.

“මම ලැයිස්තුගත සමාගම් කිහිපයකම කළමනාකාර අධ්‍යක්ෂ/සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී මම එම සමාගම්වල සියලුම සේවකයන්ට මගේ කාර්යාල කාමරයට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණා. ඒ වගේම දවසේ පැය 24 පුරාම ඔවුන්ට මගේ ජංගම දුරකතනයට අමතන්න අවස්ථාව ලබා දුන්නා.” එහි සටහන්ව තිබේ.

මෙහිදී එම සේවකයන් බොහෝ දෙනා ඉතා දැඩිව වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හා සම්බන්ධව සිටි නමුත්, තමන් සැමවිටම ඔවුන් සමගින් වඩාත් සහයෝගී මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යාමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කර තිබේ. මේ හේතුවෙන් කිසිදු දිනෙක එම සමාගම්වල කටයුතු වෙත බාධා එල්ල නොවුණු බවත් ඔහු පවසයි.

Visits: 306