CBL සමූහය රුපියල් බිලියනයක ආයෝජනයකින් කුළුබඩු නිෂ්පාදනයට පිවිසෙයි

මෙරට මුල් පෙළේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන CBL සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී සමාගම (SOY.N0000) මගින් රුපියල් බිලියන 1කට ආසන්න අයෝජනයක් මගින් දේශීය වෙළෙඳ පොළ සඳහා කුළුබඩු නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කළ බව නිවේදනය කර සිටියි.

මෙහිදී එම සමාගමට අයත් Sera වෙළෙඳ නාමය යටතේ Sera Spices යන නමින් මෙම නිෂ්පාදන පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කිරීම සිදු විය. මෙහිදී එම කුළු බඩු නිෂ්පාදනය සහ බෙදා හැරිම කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී සමාගම මගින් සිදු කරයි.

මෙම නව ආයෝජනය පිළිබඳව ඩේලිඑෆ්ටී පුවත්පත වෙත අදහස් දක්වා ඇති CBL ආහාර පොකුරේ ප්‍රධාන විධායක නිලධාරී තිලංක ඩි සොයිසා මහතා, “ශ්‍රී ලංකාව කියන්නේ සියවස් ගණනාවක් පුරාම ගුණාත්මකබවින් ඉහළ, ඉහළ රසින් වගේම සුවඳින් යුත් කුළු බඩුවලට සුප්‍රසිද්ධ රටක්. CBL කියන්නේ සෑම විටම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන් වෙත ප්‍රමුඛතාව දෙන සමාගමක්. අපි මෙලෙස Sera Spices හරහා වෙළෙඳ පොළේ කුළුබඩු අංශය වෙත ප්‍රවිශ්ට විම හරහා රටෙහි පාරිභෝගික යන්ට වඩාත් පිරිසිදු සහ ඉහළ ගුණාත්මකබවින් යුත් කුළුබඩු ලබා ගැනීමට අවස්ථාව සලසනවා.” යනුවෙන් පවසා සිටියි.

විශේෂයෙන්ම දේශීය කුළුබඩු යනු ශ්‍රී ලංකාව තුළ වැඩිම අලෙවියක් පවතින නිෂ්පාදන අංගයක් ලෙස හඳුනාගෙන ඇතැයිද ඔහු පවසයි. එසේම එය වේගයෙන් වර්ධනය වන වෙළෙදපොළක් බවත් ඔහුගේ අදහස වීතිබේ. ඒ අනුව සිය Sera Spices හරහා මෙම වෙළෙඳ පොළෙහි සැලකිය යුතු කොටසක් අත්පත්කරගැනීම සිය අරමුණ බව සොයිසා මහතා සඳහන් කරයි.

“අපි අපේ පාරිභෝගිකයන් වෙත පොරොන්දු වෙනවා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණක හරි රසකාරක හරි යොදා නොගෙන පිරිසිදු වගේම සෑමදාම එකම කුළුබඩු අත්දැකීමක් ලබා දිය හැකි නිෂ්පාදනයක් අපි ඉදිරිපත් කරනවා කියලා. එතැනදී අපි මේ සෑම පැකට්ටුවකම එකම නැවුම්බව, ගුණාත්මකබව, සුවඳ, පදම මෙන්ම රසයත් පවත්වාගෙන යන්න කටයුතු කරනවා. එය තමයි CBL ලබා දෙන පොරොන්දුව.” ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම Sera Spices නිෂ්පාදන සඳහා අවම උණුසුමක් යටතේ කුඩුකිරීමේ තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන බවත්, එය අද වනවිට මේ සම්බන්ධයෙන් පවතින නවීනතම තාක්ෂණය බවත් CBL සමාගම පවසයි. ඒ හරහා ස්වාභාවික ලක්ෂණ මෙන්ම රසය, පදම මෙන්ම සුවඳත් ආරක්ෂා කරගැනීමට හැකිවන බව සඳහන් වෙයි.

Visits: 366