හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ‘Smart One Stop Shop’ කාර්යාලය ඇමති විමල් අතින් විවෘත කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඊයේ (03දා) එම අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් විවෘත කෙරිණි.

ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනීමේ කටයුතු සඳහා මෙම කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම මෙරටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට මෙම ‘Smart One Stop Shop’ කාර්යාලය හරහා අවස්ථාව ලැබෙනු ඇතැයි යන්න කර්මාන්ත අමාත්‍යාංශයේ අදහස වී ඇත.

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) සහ HIPG ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු වී තිබේ.

මෙම අවස්ථාවට HIPG ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ මහතා ඇතුළු එහි සෙසු විධායක නිලධාරීහු ද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිට ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා, “ඩොලර් ආදායම වැඩි වැඩියෙන් උපදවන ව්‍යාපෘති සඳහා අපට පමණක් ප්‍රාග්ධනය නොමැතිනම් වාසිදායක කොන්දේසි යටතේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග කටයුතු කිරීමට සිදුවෙනවා. අපේ රටේ තිබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව.

සමහර අනුමැතීන් ලබා ගැනීම සඳහා සති ගණන් නොවෙයි මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ ගැටළුව හැකි පමණ අවම කිරීම සඳහා, එනම් ඉහත ක්‍රියාදාමය හැකි පමණ කාර්යක්ෂම කිරීම සඳහා තමයි අපි කල්පනා කළේ හම්බන්තොට වරාය ඇසුරුකොටගෙන අනාගතයේ ඉදිවන කර්මාන්ත කලාප තුළ අපනයනය ඉලක්ක කරගත් මහා කර්මාන්ත ශාලා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අරඹන්න.

මේ වසරේ ජනවාරියේදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තත් සංචරණ සීමා පැනවීම් ඇතුළු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපට බලාපොරොත්තු වූ පරිදි මෙම අවශ්‍යතාව ඉටු කිරීමට නොහැකි වුණා. ප්‍රමාද වී හෝ ඉහත කී ආකාරයේ අනාගතයක් ගැන කල්පනා කරලා තමයි මේ පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය විවෘත කරන්නේ.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී එම අදහස ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ ඇතුළු එහි කාර්ය මණ්ඩලයටද ස්තුතිය පුද කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

Visits: 188