ජනමාධ්‍යවේදීන් සඳහා “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (02දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙම “ඇසිදිසි රක්ෂණාවරණය” ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

මෙහිදී රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා, මාධ්‍යවේදීන්ටත් නොතේරෙන ආකාරයෙන් මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි පවසා තිබේ. විශේෂයෙන්ම අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දී ඇත.

‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අගමැතිවරයා, මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

එදා යුද්දෙදි මැරුන සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුන ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණ ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී (CCTV) කැමරාවල තිබුණා. සී.අයි.ඩී. (CID)  එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න ඉතාම සූක්ෂමව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා.

ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා.

මේ වාගේ වැඩපිළිවෙළවල් අපි කරන්නේ ඔබගේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන්ද පවසා තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, සොෆ්ට්ලොජික් සමූහයේ නිලධාරීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය නාලිකා ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන්, වෙබ් අඩවි මාධ්‍යවේදීන් සහ රක්ෂණලාභීන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිට ඇත.

Visits: 43