විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුළ සංචාරක ප්‍රවර්ධන නිලධාරියෙක් පත්කිරීමට තීරණයක්

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සකස් කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මීට අදාල විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වී තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය හා විදේශ කටයුතු, සංචාරක යන අමාත්‍යංශ ඉහල පෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්‍රී ලංකා තානාපතිවරු zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇත.

මෙම සාකච්ඡාවේදී ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට මේ මාසය තුළ තමන් නියෝජනය කරන රටට ආවේණික පරිදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල්.පීරිස් මහතා උපදෙස් දී තිබේ.

එසේම එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  සහ එම රටවල ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ ඒ තානාපති කාර්යාල වල සේවයේ නියුතු නිලධාරියෙකු නම් කිරීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සඳහා මෙරට සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය සමග සම්බන්ධීකරණය ද එම නිලධාරියාට පැවරෙන බව සඳහන් වෙයි.

විදෙස් රටවල ශ්‍රී ලංකාව තානාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සැකසෙන මෙම ප්‍රවර්ධන ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ ජනවාරි මාසයේදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දිනවකවානු යොදා ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

මෙම ප්‍රවර්ධන වැරඩසටහනේදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ ප්‍රවර්ධනය වෙනුවට “ශ්‍රී ලංකාව” ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දී ඇත. විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල් පීරිස් මහතා ද කීවේ “ශ්‍රී ලංකාව” රටක් ලෙස විදෙස් රටවල ප්‍රවර්ධනය කලයුතු බවයි.

මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනේදී ඒ පිලිබඳ ප්‍රමුඛ අවධානය යොමුකිරීමට අමාත්‍යවරු තීරණය කර ඇත. මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දීපා සන්නසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ පද්මා වනිගසේකර යන මහත්ම මහත්මීහුද එක්ව සිට ඇත‍.

Visits: 63