බැංකු සහ මූල්‍ය අංශයේ සමාගම් වෙත අලුත් උනන්දුවක්

අද (දෙසැම්බර් 02) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී ඊයේ දිනයේ මෙන් LOFC සහ CLC සමාගම්හි කොටස් අලෙවි කිරීම් තවදුරටත් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම තවත් කැපී පෙනෙන සමාගම් කිහිපයකදීම ලාභ ඉපැයීම්ද වාර්තා විය. එහි ප්‍රතිඵල ලෙස අද දිනයේදී ASPI අගය කැපී පෙනෙන ලෙස පහත වැටීමක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් වටිනාකම් පහළ ගොස් ඇති බැංකු සහ මූල්‍ය අංශයේ සමාගම් තුළ කොටස් මිලදී ගැනීමේ අලුත් උනන්දුවක් අද දවසේදී පැවැති බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.    

ඒ අනුව අද දිනයේදී ඒකක 11,218.06ත් ඒකක 11,497.08ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,252.30ක් බවට පත්විය. එය ඊයේ (දෙසැම්බර් 01) දිනයට සාපේක්ෂව ඒකක 157.58ක් එනම් -1.38%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+12.8), වැලිබල් වන් පීඑල්සී VONE (+10.21), කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී COCR (+4.49), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.21), ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී LHCL (+3.12), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-157.2), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-12.31), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-9.41), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.59), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී  EXPO (-4.28) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුව සහ එන්ඩීබී බැංකුව සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 2.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 85ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 107ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,912.88ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 01) ‍ට සාපේක්ෂව ඒකක 7.23ක එනම් +0.19%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.48ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැම්බර් 01) වාර්තා කළ රුපියල් බිලියන 11.08 ට  සාපේක්ෂව 41.5% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.02ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 69.62%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 175.16ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 24.94ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 150.22කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.19ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංලුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 105.61කි. එසේම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.81ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,565ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,502ක සහ රුපියල් මිලියන 1,109ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 292