Nedal Salem සිලෝන් ටොබැකෝ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වෙයි

සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Nedal Salem එම ධුරයෙන් ඉවත් වී ඇතැයි පවසයි.

අද (2021 දෙසැම්බර් 01) වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉවත්විම සිදුව තිබෙන බව එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

Nedal Salem මහතා සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් වූයේ 2019 වසරේ මැයි මාසයේ 15 වැනිදාය.

ලංකාවේ සේවයට පැමිණීමට පෙරාතුව ඒ මහතා 2017 වසරේ සිට ඉන්දුනීසියාවේ බ්‍රිටිෂ් ඇමෙරිකා ටොබැකෝ සමාගමේ සන්නාම අලෙවිකරණ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

1998 වසරේදී ජෝර්දානයේ බ්‍රිටිෂ් ඇමෙරිකා ටොබැකෝ කළමනාකරුවා ලෙස පත්වෙමින් ඔහු එම සමාගම හා එක් විය. අනතුරුව ඔහු 2006-2008 දක්වා කාලය තුළ බ්‍රිටිෂ් ඇමෙරිකා ටොබුකෝ මැදපෙරදිග සමාගමේ ක්‍රමෝපාය ප්‍රධානී ලෙස කටයුතු කර තිබේ. අනතුරුව ඔහු එම සමාගම යටතේ එක්සත් රාජධානියේ ගෝලීය ජ්‍යෙෂ්ට සන්නාම කළමනාකරුවා විය. එසේම ඔහු 2011-2015 කාලය තුළ දකුණු කොරියාවේ බ්‍රිටිෂ් ඇමෙරිකා ටොබැකෝ සමාගමේ සන්නාම අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගමෙන් ඉවත් වීමෙන් අනතුරුව Nedal Salem මහතාගේ ඊළග පත්වීම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

Visits: 177