සුභවාදී බලාපොරොත්තු සමගින් වසරේ අවසන් මාසයේ ගනුදෙනු ඇරඹෙයි

අද (දෙසැම්බර් 01) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අලුත් මාසයේ ආරම්භයත් සමගින්ම ඉතාමත් සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී දිනයේ පිරිවැටුම මෙන්ම සමාගම්හි කොටස් වටිනාකම්ද ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් දිනයේ අගභාගයේදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම්හි කොටස් අලෙවියත් සමග වටිනාකම් පහත වැටිම ආයෝජක විශ්වාසය අඩු වීමට හේතු වූ බව එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 11,336.93ත් ඒකක 11,649.64ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,409.88ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 30.65ක් එනම් -0.27%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+13.14), වැලිබල් වන් පීඑල්සී VONE (+8.68), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.13), ආසිරි හොස්පිටල්ස් පීඑල්සී ASIR (+7.39), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+6.66), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-74.31), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-18.82), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.68), හේලීස් පීඑල්සී HAYL (-3.36), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී  BIL (-3.22) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් 0.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 94ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,905.65ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 30) ‍ට සාපේක්ෂව ඒකක 26.69ක එනම් +0.77%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.08ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 30) වාර්තා කළ රුපියල් බිලියන 10.05 ට  සාපේක්ෂව 10.2% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.09ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 71.99%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 98.38ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 153.94ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 55.56කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.34ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ශ්‍රී ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.05කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 16.68ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,067ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,290ක සහ රුපියල් මිලියන 1,670ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 317