මහනුවරටත් දැවැන්ත “ODEL KANDY MALL” සාප්පු සංකීර්ණයක්

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් Odel PLC සමාගම මගින් ඉදිරියේදී මහනුවර නගර සිමාව තුළ සිය “ODEL KANDY MALL” නමින් දැවැන්ත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව Odel PLC වෙනුවෙන් එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ් (පෞද්) සමාගම පසුගිය ඔක්තෝබර් මාසයේ 01 වැනිදා මහනුවර නගර සභාව සමගින් ඊට අදාළ කල්බදු ගිවිසුමකටද පිවිසි බවත් අනාවරණය කර සිටියි.

මෙම එකඟතාව යටතේ සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ් (පෞද්) සමාගම මගින් මහනුවර වාණිජමය වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි ආසන්න වශයෙන් වර්ග අඩි 164,000ක භූමියක් වසර 15ක කාලයක් සඳහා බද්දට ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙම ගොඩනැගිල්ල ODEL KANDY MALL ලෙසින් නම් කෙරී මෙහෙයුම් සිදු කරනු ඇති බවත්, මෙම කල්බදු ගිවිසුමෙන් අනතුරුව තවත් වසර පහකට එය අලුත් කිරීමේ කොන්දේසියක්ද මෙම කල්බදු එකඟතාවට ඇතුළත් වන බවත් Odel PLC සමාගම පවසයි.

මෙලෙස පිහිටුවන ODEL KANDY MALL හි මෙහෙයුම් සහ කළමනාකරණය සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ් (පෞද්) සමාගම මගින් සිදු කරනු ඇති බවත්, එය මහනුවර නගරයේ වඩාත් සුවිශේෂී සාප්පු සංකීර්ණයක් බවට පත් වෙනු ඇති බව Odel PLC ත් වැඩිදුරටත් සඳහන් කරයි. අද වනවිට කැන්ඩි සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රය තුළ Odel සාප්පුවක් පිහිටුවා තිබේ.

මේ අතර 2021 වසරේ මාර්තු මාසයේදී Odel PLC සමාගම නාගරික සංවර්ධන අධිකාරියත් සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව කොළඹ – ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයා පරිශ්‍රයේ පිහිටි කඩසාප්පු ඇතුළත් පරිශ්‍රය සම්බන්යෙන් වසර 10ක කල්බදු ගිවිසුමකට පිවිසි අතර, එය තවත් වසර 10ක් දක්වා දිගු කරගැනීමේ අවස්ථාවක් සහිතව එම ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ අනුව මෙරට වඩාත් සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළත් සාප්පු අත්දැකීමක් ලබා දෙන ගමනාන්තයක් ලෙස මෙම ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයා පරිශ්‍රය පරිවර්තනය කිරිම සිය සැලසුම බවත් Odel Plc පවසයි. එසේම එහිම එකතුවක් ලෙස මෙම ODEL KANDY MALL හඳුන්වා දෙන බවත්, එය සමාගම මගින් රට තුළ ක්‍රියාත්මක කරන ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණ පොකුරට අලුතින් එක්වන සාමාජිකයා වන බවත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකාව මෙම කලාපය තුළ ඉහළ මට්ටමේ සුඛෝපභෝගී සාප්පු ගමනාන්තයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ සිල්ලර භාණ්ඩ අලෙවියේ හැඩය නිර්මාණය කිරීමේ අවස්ථාවේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙසද මෙම ODEL KANDY MALL හැඳින්විය හැකි බවත් Odel PLC වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කොළඹ 07 පිහිටි Odel ප්‍රධාන කාර්යාලය ආසන්න භූමියෙහි ODEL COLOMBO MALL දැවැන්ත සාප්පු සංකීර්ණයද අද වනවිට ඉදිවෙමින් පවතී.

Visits: 891