Twitter.Inc හි නව CEO ලෙස පරාග් අග්රාවාල් පත් කෙරේ

ලොව ජනප්‍රිය කෙටි පණිවුඩ හුවමාරු සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter.Inc හි නව ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පරාග් අග්රාවාල් පත් කර ඇතැයි වාර්තා වෙයි.

Twitter.Inc හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළ ජැක් ඩොර්සේ එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම මෙම නව පත් කිරීම සිදුව තිබේ.

අග්රාවාල් Twitter.Inc සමාගම හා සම්බන්ධ වී ඇත්තේ 2011 වසරේදීය. 37 හැවිරිදි වියේ පසුවන අග්රාවාල් එක්සත් ජනපදයේ කොටස් හුවමාරුවෙහි S&P 500 දර්ශකයේ ලැයිස්තුගත වූ එරට සමාගමක් වෙත එතෙක් මෙතෙක් පත් වූ ලාබාලතම ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි.

ආසන්න කාලසීමාවේදී Twitter.Inc සමාගමේ කොටස් හිමිකරුවන්ගෙන් එල්ල වූ පීඩනයත් සමගින්ම ඩොර්සේ මෙලෙස එහි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත්ව තිබේ.

මේ අතර ඔහුගේ මෙම ඉවත්වීමේ නිවේදනයත් සමගින්ම Twitter.Inc හි කොටස් වටිනාකම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඩොර්සේ තවදුරටත් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි පැවසෙයි.

Visits: 92