සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් 6.31ක් බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (BREW.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා  දෙවැනි අතරමැදි ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6.31ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස දෙසැම්බර් 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සඳහන් කරයි.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය නොවැම්බර් 26 වැනිදා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 720.50ක් ලෙස පැවතුණි.

මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් කොටස් 15,726,912ක් එනම් 74.93%ක ප්‍රතිශතයක් කාර්සන් කුම්බර්බැච් පීඑල්සී වෙත හිමිව තිබුණි. එසේම තවත් කොටස් 2,096,858ක් එනම් 9.99%ක ප්‍රතිඔතයක් GF Capital Global Limited සමාගම වෙත හිමිව ඇත. තවත් කොටස් 1,676,440ක් එනම් 7.99%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ කාර්ල්ස්බර්ග් සමාගමටයි.

Visits: 115