නිමල් පෙරේරා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්හි මුල් කොටස් හිමිකරුවන් 20 අතරට

මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතාට අයත් එන්.පී. කැපිටල් සමාගම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ මුල් කොටස් හිමිකරුවන් 20 අතරට පත්ව ඇතැයි පවසයි.

පසුගිය නොවැම්බර් 15 වැනිදා නිකුත් කෙරුණු 2021 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කාර්තුමය මූල්‍ය ප්‍රකාශනය තුළ මේ බව සටහන්ව තිබේ.

ඒ අනුව මෙහිදී එන්.පී. කැපිටල් සමාගම වෙත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් 3,397,065ක් හිමිව ඇති අතර එය 0.28%ක ප්‍රතිශතයකි. මේ සමග එන්.පී. කැපිටල් සමාගම කොටස් හිමිකරුවන් අතර 19 වැනි ස්ථානයේ පසුවෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී නිකුත් කෙරුණු 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස්හිමිකාරීත්වයේ මුල් 20 දෙනා අතර නිමල් පෙරේරා මහතාට අයත් එන්.පී. කැපිටල් සඳහන්ව නොතිබුණි.

මෙම මාසය ආරම්භයේදී නිමල් පෙරේරා මහතා නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේද මුල් කොටස් හිමිකරුවන් 10 දෙනා අතරට පත්විය. එසේම ඉදිරියේදී තවත් සමාගම් කිහිපයකම මුල් කොටස් හිමිකරුවන් අතරට තමන් පත් වීමේ අවස්ථාවක් පවතින බවත් ඔහු එහිදී ඉඟිකර තිබුණි.

මේ අතර සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ඩිජිටල් හවුල්කරුවා ලෙස නිමල් පෙරේරා මහතා විසින් සිය එන්.පී. කැපිටල් සමාගම හරහා මුදල් ආයෝජනය කර ඇති Arimac Lanka සමාගම තෝරාගත් බවත් පසුගිය ඔක්තෝබර් මාසයේදී අනාවරණය කර තිබුණි.  Arimac Lanka සමාගමේ 50%ක හිමිකාරීත්වයක් නිමල් පෙරේරා මහතාට හිමි අතර, ඔහු එහි වත්මන් සභාපතිවරයාද වෙයි.

Visits: 1384