දමිත් පල්ලෙවත්ත ලංකා වෙන්චර්ස් සහ එල්.වී.එල් එනර්ජි ෆන්ඩ් සමාගම්හි සභාපති ධුරවලට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වන ලංකා වෙන්චර්ස් පීඑල්සී සහ එල්.වී.එල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම් දෙකෙහි නව සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කෙරී ඇතැයි පවසයි.

පසුගිය නොවැම්බර් 26 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කෙරී තිබේ. අද වනවිට දමිත් පල්ලෙවත්ත මහතා හැටන් නැෂනල් බැංකුවෙහි තොග බැංකුකරණ සමූහ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙසින්ද කටයුතු කරයි.

පසුගිය ජූනි 04 වැනිදා සිට ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගමේ සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජොනතන් අලස් මහතා පසුගියදා එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස් වූ ධූරය සඳහා දමිත් පල්ලෙවත්ත මහතා මෙලෙස පත් කර තිබේ. අලස් මහතා HNB බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරයි.

සභාපති ධුරයට පත්වන අවස්ථාව වනවිටත් පල්ලෙවත්ත මහතා එම සමාගම් දෙකෙහිම ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියේය.

මෙම ලංකා වෙන්චර්ස් පීඑල්සී සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී යන සමාගම් දෙකම Acuity Partners සමාගම හා සම්බන්ධ සමාගම් දෙකකි. ඒ අතරින් ලංකා වෙන්චර්ස් පීඑල්සීහි 79.58%ක කොටස් ප්‍රතිශතයක් Acuity Partners වෙත හිමි අතර එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සීහි 57%ක කොටස් ප්‍රතිශතයක් ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගම වෙත හිමිව ඇත.

මෙම Acuity Partners පෞද්ගලික සමාගම මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු දෙකක් වන DFCC සහ HNB යන බැංකුවල ඒකාබද්ධතාවයෙන් පිහිටු වූවකි. අද වනවිට මෙම Acuity Partners සමාගම යටතේ තවත් පරිපාලිත සමාගම් කිහිපයක්ම පිහිටුවා තිබේ.

සාංගමික මූල්‍ය සහ උපදේශන සේවා සපයන Acuity Corporate Finance, රජයේ සුරැකුම්පත්හි ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු වන Acuity Securities Ltd, කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කාර සමාගමක් වන Acuity Stockbrokers (Pvt) Ltd, ඒකාබද්ධ ප්‍රාග්ධන සමාගමක් වන Lanka Ventures PLC. සහ සමර්පිත අරමුදල් කළමනාකරණ සමාගමක් වන Guardian Acuity Asset Management Ltd එම සමාගම් වෙයි.

Visits: 127