ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල දරුණු ලෙස පහතට

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් හමුව තිබෙන COVID-19 වෛරසයේ නව Omicron ප්‍රභේදය පිළිබඳ අවධානයත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙමින් පවතින බව වාර්තා පවසයි.

විශේෂයෙන්ම මෙම නව ප්‍රභේදය නිසා ඉදිරියේදී ලොව සංචරණ සීමා යළිත් ක්‍රියාත්මක වීම මෙන්ම නිෂ්පාදන කටයුතු අඩපණවිම යන කාරණා නිසා බොරතෙල් සඳහා වන ඉල්ලුම අඩුවීමක් සිදුවනු ඇතැයි අදහස් වීම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 10.00 වන විට ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 72.72ක් බවට පත්ව තිබුණි. ඊයේ දිනයේදී මෙම බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.05ක අගයක් ගෙන තිබුණි.

එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වනවිට ඩොලර් 68.15ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේදී ඩොලර් 73.37ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව ආසන්න දින කිහිපයේදී ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳ පොළේ බොරතෙල්මිල පාලනය සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිය ඉන්ධන සංචිත නිකුත් කිරීම හරහා ගත් උත්සාහය පරදවමින් මෙම නව ප්‍රභේදය වඩාත් සාර්ථක ලෙස එම කටයුතු සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය වසරේදී චීනයද ඇතුළුව ලොව පුරා දරුණු ලෙස මෙම කොවිඩ්-19 වසංගත රැල්ල ව්‍යාප්ත වූ අවස්ථාවේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඍණ අගයකට පවා පත්විය.

Visits: 384