අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල‘ ඊයේ (26දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.  

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර, මෙහිදි අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන  ප්‍රදානය කෙරේ.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරිණ. මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරී තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අපනයනකරුවන් විසින් දරන ලද පරිශ්‍රමය, කැපවීම සහ නොපසුබට උත්සාහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

ඒ අනුව 2019/20 මූල්‍ය වර්ෂය වෙනුවෙන් වසරේ අපනයනකරුවා සම්මානය දිනා ගැනීමට බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගම සමත්විය. එසේම 2020/21 වර්ෂය සඳහා එම සම්මානය දිනා ගත්තේ MAS Intimates (පෞද්) සමාගමයි.

මේ අතර, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා හොඳම අපනයනකරු, නැඟී එන වෙළෙඳපොළවල ක්‍රියාකාරී අපනයනකරු සහ වසරේ නැඟී එන අපනයනකරු වැනි නව සම්මාන කිහිපයක් මෙවර “ජනාධිපති අපනයන සම්මාන උළෙල”ට හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

නිෂ්පාදන සේවා ආංශික සම්මාන සඳහා “හොඳම අපනයනකරුවා” තෝරාගැනීමේදී අපනයන ආදායමට අමතරව නිර්ණායක කිහිපයක් එක් කර තිබිණ. අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, අපනයන ආදායමේ වර්ධනය වැනි නිර්ණායක ඒ අතර වේ.

වසරේ අපනයනකරුවා සම්මානයත් සමගින් මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ.

ඒ අනුව 2019/20 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නැගී එන අපනයනකරුවා ලෙස Inqube Global (පෞද්) සමාගමත්, 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් Arava (පෞද්) සමාගමත් සම්මාන ලැබීය.

2019/20 මූල්‍ය වර්ෂය වෙනුවෙන් හොඳම කාන්තා අපනයකරුවා ලෙස ඔරෙල් IT (පෞද්) සමාගමේ තිලකා කොඩිතුවක්කු මහත්මිය සම්මාන ලැබුවාය. 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එම සම්මානය මනිෂා එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිෂානි ප්‍රනාන්දු වෙත හිමි විය.

2019/20 සහ 2020/21 යන මූල්‍ය වර්ෂ දෙක සඳහාම වසරේ නවෝත්පාදන අපනයන නිෂ්පාදනය වෙනුවෙන් වන සම්මානය මිලේනියම් IT සොෆ්ට්වෙයා (පෞද්) සමාගම වෙත හිමිවිය.

මේ අතර 2019/20 මෙන්ම 2020/21 යන මූල්‍ය වර්ෂයන් වෙනුවෙන් අපනයන සැපයුම් දාම අංශ වෙනුවෙන් ලබාදුන් දායකත්වය සඳහා වන සම්මානය දිනා ගැනීමට බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගම සමත් විය.

එසේම ගෝලීය අගය දාමයන් සඳහා හොඳම අපනයනකරුවා ලෙස මෙම මූල්‍ය වර්ෂ දෙකේදීම සම්මානය හිමි කරගැනීමට GPV Lanka (පෞද්) සමාගම සමත්විය.

මේ අතර 2019/20 වසර සඳහා නැගී එන වෙළෙඳ පොළ සඳහා හොඳම කාර්යසාධනයක් පෙන්නූ අපනයකරුවා සම්මානය බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගම වෙත හිමිවිය. එසේම 2020/21 වසර සඳහා එය MAS Active Trading (පෞද්) සමාගම වෙත හිමිවිය.

2019/20 සඳහා වන අපනයනයේ තිරසාරත්ව සංවර්ධනය සඳහා වූ දායකත්ව සම්මානය ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී වෙත හිමිවිය. 2020/21 වසර සඳහා වන එම සම්මානය MAS Intimates (පෞද්) සමාගම වෙත හිමි විය.

හොඳම අගය එකතු කළ අපනයනරුවා සම්මාන 2019/20 වසර වෙනුවෙන් දිනා ගැනීමට මිලේනියම් IT සොෆ්ට්වෙයාර් (පෞද්) සමාගමට හිමි විය.  2020/21 වසර සඳහා එම සම්මානය දිනා ගත්තේ Orel IT (පෞද්) සමාගමයි.

2019/20 වසර සඳහා වෙළෙඳ පොළ විවිධාංගීකරණය සඳහා වන අපනයකරුවාගේ සම්මානය ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී වෙත හිමිවිය. 2020/21 වසර සඳහා එම සම්මානය MAS Active Trading (පෞද්) සමාගම වෙත හිමිවිය.

නිෂ්පාදන විවිධාංගීකරණය යටතේ හොඳම අපනයනකරුවා සම්මානය 2019/20 වසර සඳහා දිනා ගැනීමට S and D කෙමිකල්ස් (පෞද්) සමාගමට හැකිවිය. එසේම 2020/21 වසර සඳහා එම සම්මානය MAS Intimates (පෞද්) සමාගමට හිමිවිය.

මේ අතර ගෝලීයව ජනප්‍රියත්වයට පත් වූ ශ්‍රී ලාංකික වෙළෙඳ නාමය සඳහා වූ සම්මානය යටතේ 2019/20 සඳහා ජයග්‍රහණය හිමි කරගැනීමට ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමත් විය. එසේම 2020/21 වසර සඳහා එය අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමට හිමිවිය.

Visits: 237