Mahindra Bolero City Pik-up සඳහා ඔරිජිනල් ටයර් සපයන්නා ලෙස CEAT පත්වෙයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M)  සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා (Original Equipment) ලෙස එක්වී ඇතැයි පවසයි.

මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) ගිවිසුමට අනුව කැළණියේ පිහිටි සියැට් කැළණි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන 215/75 R15 ප‍්‍රමාණයේ CEAT Milaze HD ටයර් මතුගම වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා ඔටෝමෝටිව් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ එකලස් කරන සියළුම Mahindra Bolero City Pik-up වාහන සඳහා භාවිතා කරනු ඇත.

නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී මෙසේ එකලස් කරන ලද වාහන 36 ක් සඳහා සියැට් විසින් මේ වනවිටත් ඉහළ කාර්යසාධනයකින් යුක්ත මෙම රේඩියල් ටයර් 180 ක් සපයා තිබෙන අතර 2022 ජනවාරි මාසයේ සිට මාසයකට ටයර් 720 ක් දක්වා සැපයීමට සැලසුම් කර තිබේ. සමාගම සඳහන් කරන්නේ මහින්ද්‍රා අයිඩියල් ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාවේ මසකට උපරිම වශයෙන් වාහන 144 ක් එකලස් කිරීමට ඉලක්ක කර තිබෙන බවයි.  

මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවසීය. ‘මහින්ද්‍රා අයිඩියල් ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයේ දේශීය අගය එකතුකිරීමේ කොටසට දායකත්වය දැක්වීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. අපි එම සහයෝගය දක්වන්නේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට රජය විසින් දරණ උත්සාහයට සහයෝගය දක්වමින් ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයකින් දේශීය අවශ්‍යතාවයන්ට අනුව ටයර් නිෂ්පාදනය කරමින් අපි සිදුකරන කාර්ය ඉතාමත් ඉහළ මට්ටමින් කරන අතරතුරයි. පසුගිය දශක දෙක තුළදී සියැට් විසින් ටයර් කර්මාන්තය තුළ ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ අදහස ජනපි‍්‍රය කිරීමට විශාල මෙහෙවරක් සිදුකර තිබෙනවා. ශ‍්‍රී ලංකාව තුළ වාහන නිෂ්පාදනය සඳහා මහින්ද්‍රා අයිඩියල් ලංකා විසින් සිදුකරන කැපවීමට සහයෝගය දක්වමින් ඔවුන්ගේ එකම ටයර් සැපයුම්කරුවා වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’  

මෙම නව ප‍්‍රයත්නය දේශීය ආර්ථිකය වාණිජ ආර්ථිකයක් සිට නිෂ්පාදන ආර්ථිකයට පරිවර්තනය කිරීම සඳහා රජය විසින් සකසා ඇති ප‍්‍රතිපත්ති රාමුවට අනුකූල වන නිසා නිවැරදි ගමන් මගකට තබන පියවරක් වන බව මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් වෙල්ගම මහතා ප‍්‍රකාශ කළේය.

Mahindra Bolero City Pik-up වාහන සඳහා සියැට් කැළණි විසින් නිෂ්පාදනය කරන CEAT Milaze ටයර් මාර්ගයේ තිබෙන බාධාවන්ට ඔරොත්තු දෙන ලෙස නිෂ්පාදනය කරනු ලබයි. මෙම ටයර් වඩාත් වැඩි දුරක් ධාවනය කළ හැකි ලෙසත් කල්පවතින ලෙසත් නිෂ්පාදනය කර තිබීම මෙහි කැපී පෙනෙන තවත් වැදගත් ගුණාංග වේ.

වාහන එකලස් කිරීම සඳහා ටයර් සැපයීම සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමට අළුත් දෙයක් නොවන අතර 2019 වසරේ සිට ශ‍්‍රී ලංකාව තුළ එකලස් කරන Mahindra KUV100 රථ සඳහා ටයර නිෂ්පාදනය කරන්නෙකු ලෙස ද සමාගම කටයුතු කරයි. ශ‍්‍රී ලංකාවේ එකලස් කරන සියළුම Mahindra KUV100 වාහන සඳහා  CEAT FUELSMARRT 185/60 R 15 ටයර් සවිකරන බව සමාගම සඳහන් කරයි. 

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. මින් රුපියල් බිලියන 03 ක මුදල් ප‍්‍රමාණයක් 2018 ජනවාරි මාසයේ සිට ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමට, තාක්ෂණය වැඩිදියුණු කිරීමට, නව නිෂ්පාදන සංවර්ධනයට ආයෝජනය කර තිබීම කැපී පෙනේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන සඳහා රේඩියල් ටයර්, වාණිජ (නයිලෝන් සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය සිදුකරයි.

Visits: 104