ආසියාවේම පොහොසතා වීමට මුකේෂ් අම්බානි හා ගෞතම් අදානි කරට කර තරගයක

ඉන්දියාවේ අදානි සමූහයේ (Adani Group) නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වන ගෞතම් අදානි පසුගිය බදාදා දිනයේදී ආසියාවේම පොහොසතා බවට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් කලක් එම ස්ථානයේ පසු වූ ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (RIL) හි සභාපති මුකේෂ් අම්බානි අභිබවමින් අදානි මෙලෙස ආසියාවේම පොහොසත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

විශේෂයෙන්ම 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළදී අදානිගේ දළ වත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාම ඔහු මෙලෙස එම තත්ත්වයට ඔසවා තැබීමට හේතුව වී තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය මාස 20ක කාලය තුළදී ගෞතම් අදානිගේ වත්කම 1808%කින් ඉහළ ගොස් ඇත. 2020 මාර්තු 18 වැනිදා වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 4.91ක් ලෙස සටහන්ව තිබී ඇත. එහෙත් බදාද දිනය වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 90ක් ආසන්නයට පත්ව ඇතැයි පැවසෙයි.

අද වනවිට අදානි සමූහය අදානි එන්ටප්‍රයිසස්, අදානි ග්‍රීන් එනර්ජි, අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සෝන්ස්, අදානි ට්‍රාන්ස්මිෂන්, අදානි ටෝටල් ගෑස් සහ අදානි පවර් ඇතුළුව තවත් සමාගම් රැසක් වෙත ව්‍යාප්තව තිබේ.

මෙම කාලසීමාවේදීම මුකේෂ් අම්බානිගේ වත්කම වර්ධනය වී ඇත්තේ 250%ක ප්‍රතිශතයකිනි. එසේම ආසන්න කාලසීමාවේදී ඔහුගේ වත්කම් කැපී පෙනෙන ලෙස අඩුවීමක්දසිදුව තිබේ. ඒ අනුව මුකේෂ් අම්බානිගේ වත්කම බදාදා දිනය වනවිට ඩොලර් බිලියන 90.0 වඩා පහත වැටී තිබුණි.

විශේෂයෙන්ම අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගම සමගින් ඇති කරගෙන තිබූ එකඟතාවෙන් ඉවත්වීම යනාදීය ඇතුළු කාරණා එම සමාගමේ වටිනාකම් පහත වැටීමට හේතුව වී ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේදී සටහන්ව තිබූ Bloomberg Billioiners Index හි දත්ත අනුව ආසියාවේ පොහොසතා ලෙස යළිත් මුකේෂ් අම්බානි නම්ව තිබෙන අතර, ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 89.7ක් ලෙස සටහන්ව තිබේ. එසේම ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 89.1ක් ලෙස සටහන්ව ඇත.

එහිදී ආසන්නතම අවස්ථාවන් ලෙස අම්බානිට ඩොලර් බිලියන 1.32ක වත්කම් අහිමිවීමක් සහ අදානිට ඩොලර් මිලියන 375ක වත්කම් හිමිවීමක් සිදුව තිබුණු බවත් වාර්තා පවසයි.  එසේම පෙර වසරේ එම දිනයට සාපේක්ෂව අම්බානිගේ වත්කම් වර්ධනය ඩොලර් බිලියන 13.0ක් ලෙස සටහන්ව ඇති අතර, අදානිගේ වත්කම් වර්ධනය ඩොලර් බිලියන 55.3කි.

ඒ අනුව ආසියාවේ පොහොසතා බවට පත්වීම සම්බන්දයෙන් මේ වනවිට ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි අතර කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් පවතින ප්‍රවණතාව අනුව අදානි නුදුරේදීම ආසියාවේ පොහොසතා ලෙස සිය ස්ථානය තහවුරු කරගනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ.

Visits: 547