හිටපු ඇමති මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ධුරයට

පුරප්පාඩු වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා හිටපු ඇමතිවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා නම් කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහු මෙලෙස එක්සත් ජනපද තානාපති ධුරය භාරගෙන ඇතැයි සඳහන් වී ඇත. ඒ අනුව ඉදිරියේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ලබන 29 වැනිදා එක්සත් ජනපදයේ තානාපති ධුරය සඳහා පිටත්ව යන බවත් සමරසිංහ මහතා පවසා සිටියි.

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති කාරක සභා විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. ඒ මහතා මීට පෙර විදේශ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා, “අපේ සමස්ත අපනයනයෙන් 25%ක් අපි යවන්නේ ඇමෙරිකාවට. යුරෝපා හවුලටත් ඒවගේම විශාල ප්‍රමාණයක් අපි අපනයනය කරනවා. ජී.එස්.පී. ප්ලස් අපට දීලා තිබෙන නිසා ඒ සහනම පදනම් කරගෙන අපිට මාකට් ඇක්සස් එකක් ලැබිලා තිබෙනවා. ඉතිං මේ රටවල් තරහා කරගන්න හොඳ නෑ. ඒ අය සමග හොඳ සුහදතාවක් ගොඩ නගා ගන්න කටයුතු කරන්න ඕනේ. ඔවුන් අපිට විරුද්ධව යෝජනාවක් ගෙනාවා කියලා ඒ අයට දොර වහන්න හොඳ නෑ.” යනුවෙන් පවසා තිබේ.

මීට පෙර එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා දැනට මාස කිහිපයකට පෙරාතුව හදිසියේම සිය ධුරයෙන් ඉවත් විය. ඒ වනවිට ඔහු තානාපති ධුරයේ කටයුතු කර තිබුණේ මාස 09ක කාලයක් පමණකි. ආර්යසිංහ මහතා ධුරයෙන් ඉවත්විමට හේතුව ඔහු වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීම බව විදේශ කටයුතු අමාත්‍යාංශය එම අවස්ථාවේදී සඳහන් කර තිබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරයා ලෙස පත්වීම් ලැබීමට නියමිත මහින්ද සමරසිංහ මහතා 1956 වසරේදී උපත ලැබූවෙකු වන අතර, ඔහුගේ වයස අවුරුදු 65කි.

Visits: 60