සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

සර්වෝදය ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මගින් ඊයේ දිනයේ දී කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ මූලික මහජන කොටස් නිකුතුවට පැය කිහිපයක් තුළදී අධි දායකත්වයක් හිමි වූ බව පවසයි.

අදියර දෙකක් යටතේ සිදු වුණු මෙම නිකුතුවේදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම පළමුවෙන්ම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,727,273ක් නිකුත් කිරීම සිදු විය. එහිදී කොටසක වටිනාකම රුපියල් 22ක් ලෙස මිල කෙරී තිබුණි.

එසේම මෙම නිකුතුවට හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,727,273ක් මිලදී ගැනීම සඳහා විවෘත කර ඇති අතර, එහිදීද කොටසක වටිනාම රුපියල් 22ක් ලෙස මිල කෙරී තිබේ.

ඒඅනුව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 45,454,546ක් වූ මෙම සමස්ත මූලික මහජන කොටස් නිකුතුව වෙතම මෙලෙස අධි දායකත්වයක් හිමි වුණු බවත් සර්වෝදය ඩිවලොප්මන්ට් සමාගම පවසයි.

මෙහිදී එම සියලුම කොටස් ප්‍රමාණය සඳහාම ඉල්ලුම් පත්‍ර හිමි වුණු බවත්, එම ඉල්ලුම් පත්‍රවල වටිනාකම රුපියල් බිලියන 1ක් (1,000,000,0012ක්) ඉක්ම වූ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ පස්වරු 4.30ට මෙම මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම අවසන් කළ බවත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම පවසයි.

මෙම නිකුතුවේ මූල්‍ය උපදේශකත්වය සහ කළමනාකරුවන් ලෙස NDB Investment බැංකුව කටයුතු කෙරිණි.

Visits: 208