ශ්‍රී ලංකා – පාකිස්ථානු වෙළෙඳ ප්‍රවර්ධන සම්මන්ත්‍රණය පැවැත්වෙයි

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර ද්විපාර්ශ්වික ආනයන අපනයන මෙන්ම අනෙකුත් වෙළෙඳ අවකාශයන් සම්බන්ධයෙන් ඇති අවස්ථාවන් හඳුනාගැනීම සඳහා වූ ශ්‍රී ලංකා – පාකිස්ථානු වෙළෙඳ ප්‍රවර්ධන සම්මන්ත්‍රණය ඊයේ (23දා) පැවැත්වුණි.

දෙරටේම ආනයනකරුවන්, අපනයනකරුවන්, විෂය පිළිබඳ විශේෂඥ දැනුමින් සමන්විත වාණිජ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානාය වූ මෙම සම්මන්ත්‍රණය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී මෙරට දේශීය සන්නාමයන්ගෙන් යුත් නිෂ්පාදනයන් සඳහා පාකිස්ථානය තුළ පවත්නා වෙළෙඳපොල තත්වයන් තවදුරටත් වර්ධනය වීම පිළිබඳවත්, ඒ අනුව දේශීය අපනයනකරුවන් සඳහා තවදුරටත් අවශ්‍ය කෙරෙන මාර්ගෝපදේශ ලබා දෙමින් වෙළෙඳපොල අවකාශයන් වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධ දැනුවත් කිරීමත් සිදු වූ වබ පැවසෙයි.

මෙහිදී අදහස් දක්වා ඇති වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පාකිස්ථානය සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම්ගත වූ පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක අපනයන ආදායමක් ළඟා කරගැනීමට පාකිස්ථානයෙන් ලද සහයෝගය පිළිබඳව සිහිපත් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස් තන්වීර් අහමද් මහතා, ශ්‍රී ලංකාව හා ගිවිසුම්ගත වීම තුළ සිය රටේ වෙළෙඳ කටයුතු සඳහා ශ්‍රී ලාංකේය නිෂ්පාදනයන් ඉතා විශාල දායකත්වයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. එසේම දෙරට තුළ පවතින ඒ ඒ නිෂ්පාදනයන් සඳහා වන සන්නාමයන් මෙන්ම වෙළෙඳපොල අවකාශ තවදුරටත් පුළුල් කරගැනීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානතම අරමුණ වූ බවත්, වසරින් වසර මෙම වෙළෙඳ කටයුතු තීව්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවටත් – පාකිස්ථානයටත් ධනාත්මක ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකියාව ලබා ගැනීමත් මෙමඟින් සිදු වන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම පාකිස්ථානු ආයෝජන ප්‍රවණතා සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මියද මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකා – පාකිස්ථානු නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ ද්විපාර්ශ්වික භාණ්ඩ හා සේවා සඳහා ඇති වටිනාකම වර්ධනය කරගැනීමට හැකියාව ලැබූ ආකාරයද මෙහිදී සිහිපත් කරන තිබේ. එසේම මත්ස්‍ය නිෂ්පාදන, බුලත්, සහල්, එළවළු, ඇතුළු භාණ්ඩ රැසක් සඳහා වෙළෙඳපොල සකසා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ද අස්මා කමල් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්ථානු වෙළෙඳ සම්බන්ධීකාරකවරුන්, වාණිජ නිලධාරීන්, ආනයන-අපනයන ක්ෂේත්‍රයේ නියැළෙන්නන්, දෙරටේම ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිට ඇත.

Visits: 38